May 22, 2026

මෙනින්ජයිටිස් රෝග ලක්ෂණ පෙන්නුම් කරන පාසල් සිසුන් පිරිසක් වැලිමඩ සහ දියතලාව මූලික රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය අංශ විසින් තහවුරු කර තිබේ.

වැලිමඩ, කැප්පෙටිපොළ සහ උඩපේරුව යන ප්‍රදේශවල පාසල් සිසුන් පිරිසක් මෙම රෝග ලක්ෂණ හේතුවෙන් රෝහල් ගත කර ඇති අතර වැලිමඩ මූලික රෝහලේ ප්‍රතිකාර ලබන 10 දෙනාගෙන් සිසුන් 04 දෙනෙකුට රෝගය වැළඳී ඇති බවත්, දියතලාව මූලික රෝහලේ ප්‍රතිකාර ලබන සිසුන් 18 දෙනාගෙන් 10 දෙනෙකුට රෝගය වැළඳී ඇති බවත් වෛද්‍ය පරීක්ෂණ මගින් තහවුරු වී ඇත.

වැලිමඩ රෝහලේ ප්‍රතිකාර ලබන සිසුන් අතර අවුරුදු 14ට අඩු සිසුන් පස් දෙනෙකු සහ ඊට වැඩි සිසුන් පස් දෙනෙකු සිටින අතර දියතලාව රෝහලේ සිටින අනෙකුත් සිසුන් සම්බන්ධයෙන් වෛද්‍ය පරීක්ෂණ තවදුරටත් සිදු කෙරේ.

උණ, හිසරදය, ක්ලාන්තය, වමනය, ඔක්කාරය සහ සමේ ඇති වන බිබිලි හෝ පලු දැමීම වැනි රෝග ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා ලෙසත්, ළඟම ඇති මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුවත් කරන ලෙසත් සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටී.

තවද, මුඛ ආවරණ පැළඳීම, සබන් යොදා දෑත් නිරන්තරයෙන් සේදීම, නිසි සනීපාරක්ෂක ක්‍රම අනුගමනය කිරීම සහ ජනතාව ගැවසෙන ස්ථානවලට යෑම අවම කිරීම වැනි සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස ද බලධාරීන් මහජනතාවට වැඩිදුරටත් උපදෙස් ලබා දෙයි.