May 22, 2026

පරිසරය, කෘෂිකර්මය හා ස්වභාවික සම්පත් පිළිබඳ තේරීම් කාරක සභා සාකච්ඡාවලදී මතු වූ කරුණු සැලකිල්ලට ගනිමින්, නොරොච්චෝල ලක්විජය බලාගාරයෙන් සිදුවන පරිසර බලපෑම පිළිබඳ සවිස්තරාත්මක විමර්ශනයක් පැවැත්වීම සඳහා නව අනුකමිටුවක් පත්කර තිබේ.

පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී භාග්‍ය ශ්‍රී හේරත්ගේ සභාපතිත්වයෙන් මෙම නව අනුකමිටුව ක්‍රියාත්මක වන බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමිගේ සභාපතිත්වයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෑතකදී පැවැති අදාළ කාරක සභා රැස්වීමේදී මෙම පත්කිරීම සිදු කර ඇත.

මෙම රැස්වීම සඳහා පරිසර අමාත්‍යාංශය, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ තවත් රාජ්‍ය ආයතන කිහිපයක උසස් නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

නොරොච්චෝල බලාගාරයේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් මතුව ඇති පාරිසරික ගැටලු, ඊට වගකිවයුතු පාර්ශව හඳුනාගැනීම සහ ආයතනික මට්ටමින් පවතින අඩුපාඩු සමාලෝචනය කිරීම මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට බඳුන් වී ඇත.

එහිදී සිදුවූ පුළුල් පරීක්ෂණවලින් අනතුරුව, මෙම ගැටලුව සම්බන්ධයෙන් තවදුරටත් කරුණු අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා මෙවැනි සුවිශේෂී අනුකමිටුවක අවශ්‍යතාව පවතින බවට තීරණය කර තිබේ.

මේ අතර, ශ්‍රී ලංකාවේ පිහිටි ජර්මානු, ජපාන සහ චීන තානාපති කාර්යාල මෙන්ම ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සමඟ ද ඉදිරියේදී සාකච්ඡා පැවැත්වීමට අපේක්ෂා කරන බව කාරක සභාවේ සභාපතිවරයා මෙහිදී සඳහන් කළේය.

එම රටවල පවතින නවීන විදුලි බලාගාරවල භාවිත වන දියුණු තාක්ෂණික ක්‍රමවේදයන් පිළිබඳ ශ්‍රී ලංකා නිලධාරීන්ට පුහුණු අවස්ථා ලබාගැනීම මෙහි මූලික අරමුණ වී තිබේ.

එමඟින් මෙරට තාක්ෂණික ධාරිතාව ඉහළ නැංවීමට මෙන්ම පරිසර කළමනාකරණ ප්‍රමිතීන් ශක්තිමත් කිරීමට ද බලාපොරොත්තු වේ.