May 21, 2026

2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ඉගෙනුම් පාලක මණ්ඩල රැස්වීමට සහභාගී වීම සඳහා එක්සත් රාජධානියේ ලන්ඩන් නුවරට නිල සංචාරයක නිරත අගමැතිනි හරිනි අමරසූරිය, එක්සත් රාජධානියේ විදේශ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී යෙව්ට් කූපර් සමඟ ද්විපාර්ශ්වික හමුවක් පවත්වා තිබේ.

ශ්‍රී ලංකා දූත පිරිසට එක්සත් රාජධානියේ මහ කොමසාරිස් නිමල් සේනාධීර සහ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් ද ඇතුළත් විය.

දිට්වා සුළි කුණාටුවෙන් පසු අඛණ්ඩ නැවත ගොඩනැගීමේ සහ ප්‍රතිසාධන කටයුතු සඳහා එක්සත් රාජධානිය දැක්වූ සහයෝගයට මෙම රැස්වීම අතරතුර අගමැති අමරසූරිය ශ්‍රී ලංකාවේ කෘතඥතාව පළ කළාය.

ශ්‍රී ලංකාව සඳහා ද්විපාර්ශ්වික වෙළඳාම සහ අපනයන වර්ධනයට පහසුකම් සැලසීම සඳහා එක්සත් රාජධානියේ කාර්යභාරය ද ඇය අගය කළාය.

ශ්‍රී ලංකාවේ මෑත කාලීන ආර්ථික වර්ධනයන්, ප්‍රතිපත්තිමය ප්‍රමුඛතා, මානව හිමිකම් සහ සංහිඳියාව සඳහා කැපවීම සහ රටේ ධනාත්මක වර්ධන ගමන් පථය පිළිබඳව ද අග්‍රාමාත්‍යවරිය ඇයට පැහැදිලි කර තිබේ.

ගෝලීය භූ දේශපාලනික වර්ධනයන්, බලශක්ති අංශයේ අභියෝග සහ කලාපීය සම්බන්ධතාවයේ වැදගත්කම සහ දිගුකාලීන බලශක්ති ආරක්ෂාව පිළිබඳ දෙපාර්ශ්වයම සාකච්ඡා කර ඇත.

අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සහයෝගීතාව වැඩි දියුණු කිරීම සඳහා දෙරටේම කැපවීම නැවත තහවුරු කරමින් රැස්වීම අවසන් වී තිබේ.