May 21, 2026

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) හි මේ වනවිට වඩාත් කතාබහට ලක්ව සිටින 15 හැවිරිදි වෛභව් සූර්යවංශි, ලබන මාසයේ මෙරට සංචාරය කිරීමට නියමිත ඉන්දීය දෙවන පෙළ කණ්ඩායමට ඇතුළත්ව සිටී.

මෙවර IPL තරගාවලියට සහභාගී වී සිටින තවත් ක්‍රීඩකයන් කිහිප දෙනෙකුද කණ්ඩායමට ඇතුළත් වේ

වාර්තා පිට වාර්තා බිඳ දමමින් සහ ඔහුගේ දක්ෂතා විස්තර කිරීමට අපහසු වන තරමට විචාරකයන් පුදුමයට පත් කරමින් සිටින වෛභව් සූර්යවංශි ඉන්දීය A කණ්ඩායම සමඟ ඇෆ්ගනිස්ථාන A කණ්ඩායම ද සහභාගී වන තුන්කොන් තරගාවලියකින් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ට පළමුවරට දඹුල්ලේදී දැකගත හැකිවනු ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ලෝලීන්ට ද ඔහුගේ ගිනිකෙළි සංදර්ශන දැකගැනීමට අවස්ථාව ලැබේ.

සූර්යවංශි තමන් උපදින්නටත් පෙර බිහි වූ IPL හි ලොව හොඳම වෘත්තීය පන්දු යවන්නන් මේ වනවිටත් පරාජය කරමින් සිටී.

‘බෝල මරුවන්’ ලෙස හඳුන්වන විරාත් කෝලි සහ ඩේවිඩ් මිලර් වැනි ක්‍රීඩකයන් ද අබිබවා යන තරමට ඔහුගේ හයේ පහරවල් වේගවත් වී ඇත.

මේ වනවිටත් ඔහු හයේ පහර 53ක් තරගාවලිය තුළ වාර්තා කර ඇති අතර එයින් 10ක්ම අඟහරුවාදා රාත්‍රියේ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට එරෙහිව ලබාගෙන තිබිණි.

ඔහුට සිය දෙවැනි IPL ශතකය ලකුණු හතකින් අහිමි වී ගියේය.

ලැයිස්තුවේ ඊළඟට වැඩිම හයේ පහරවල් එල්ල කරන ක්‍රීඩකයා වන්නේ අභිෂේක් ෂර්මා වන අතර ඔහු සූර්යවංශිට වඩා ලකුණු 38ක් පසුපසින් සිටී.

සූර්යවංශි 2026 IPL තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් ලැයිස්තුවේ පෙරමුණ ගෙන සිටින්නේ ලකුණු 579ක් ලබා ගනිමිනි.

ඕස්ට්‍රේලියාවේ මිචෙල් මාෂ් (563) සහ දකුණු අප්‍රිකාවේ හෙන්රිච් ක්ලාසන් (555) වැනි ක්‍රීඩකයන් දෙවැනි සහ තෙවැනි ස්ථානවල පසුවෙති.

ඉන්දීය A කණ්ඩායමේ නායකත්වය දරන්නේ IPL සොයාගැනීමක් වන තිලක් වර්මා විසිනි.

ඉන්දීය A කණ්ඩායම ජුනි 9 වැනිදා දඹුල්ලේ දී ශ්‍රී ලංකා A කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තුන්කොන් තරගාවලියේ දී සිය තරඟාවලිය ආරම්භ කරන අතර පසුව ගාල්ලේ දී දින හතරක තරඟ දෙකක් සඳහා රැඳී සිටිනු ඇත.

ශ්‍රී ලංකා සංචාරය සඳහා ඉන්දීය ‘A’ කණ්ඩායම: තිලක් වර්මා (නායක), ප්‍රියන්ෂ් ආර්යා, වෛභව් සූර්යවංශි, රියාන් පරාග් (උපනායක), ආයුෂ් බඩෝනි, නිශාන්ත් සින්දු, හර්ෂ් ඩුබේ, සූර්යන්ෂ් ෂෙජ්, ප්‍රබ්සිම්රාන් සිං , කුමාර් කුෂාග්‍ර, විප්‍රජ් නිගම්, යෂ් තාකූර්, යුධ්වීර් සිං, අන්ෂුල් කම්බෝජ්, අර්ෂාඩ් ඛාන්