May 19, 2026

යුද්ධය නිමාකර සාමය උදාකරගැනීම වෙනුවෙන් දිවිදුන් සැමට කළ හැකි උපහාරය නම් ඔවුන් පැතූ සාමකාමී සංවර්ධිත රටක් ගොඩනැගීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය.

ඔහු සඳහන් කළේ යුද්ධයක් ප්‍රතික්ෂේප කර සාමය ඉල්ලා සිටින ප්‍රබලම හඬ වන්නේ යුද්ධයේ ආදීනව වඩාත් හොඳින් දන්නා රණවිරුවන් බවයි.

බෙදුම්වාදයට එරෙහි යුද්ධය නිමා කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සාමාජිකයන් ඔවුන්ගේ කාර්යය ඉටුකර ඇති බවත් දැන් අපවෙත පැවරී ඇති කාර්යභාරය නිසි ආකාරයෙන් ඉටුකිරීමට රජය කැපවන බවටත් ජනාධිපතිවරයා සහතික විය.

ඒ අනුව ජනාධිපතිවරයා සඳහන් කළේ මෙරට නැවත යුද්ධයක් ඇති නොවීම සඳහා රජයක් ලෙස කටයුතු කරන බවයි.

මෙරට යුද්ධය නිමාකිරීමේ 17 වැනි ජාතික රණවිරු දින සැමරුම පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ රණවිරු ස්මාරකය අබියස ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද(19) පස්වරුවේ පැවැත්විණි.

ජනාධිපතිවරයා, ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිවරයා, මහජන ආරක්ෂක ඇමැතිවරයා වැනි කිහිප දෙනෙකු හැරෙන්නට දේශපාලන අධිකාරියේ වෙනත් පිරිසට මෙම උත්සවයට ආරාධනා කර නොමැති බව අමාත්‍ය විජිත හේරත් මීට පෙර සඳහන් කර තිබිණි.

ත්‍රිවිධ හමුදාපතිවරු සහ පොලිස්පතිවරයා සමග ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

මෙහිදී මියගිය රණවිරුවන් සිහිපත් කරමින් ජනාධිපතිවරයා රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීය.