May 19, 2026

මේ වසරේ පළමු මාස 6 සඳහා ජල ගාස්තු වෙනසක් නොකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

කැබිනට් තීරණ දැනුම්දීම සඳහා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍ය විජිත හේරත් මේ බව සඳහන් කළේය.

2025 වර්ෂය සඳහා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ මුල්‍ය ප්‍රකාශය මත පදනම්ව සිදු කරන ලද විශ්ලේෂණය අනුව, වත්මන් ජල ගාස්තු මඟින් සම්පූර්ණ මෙහෙයුම් වියදම් ආවරණය කර ගැනීමට හැකියාව පවතින බව තහවුරු වී ඇත.

එබැවින්, 2026 වර්ෂයේ පළමු මාස 06 තුළ ජල විකුණුම් ඒකක පිරිවැය ඉහළ නැංවීමකින් තොරව පවත්වාගෙන යෑමට ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් තීරණය කර තිබේ.

ඒ අනුව, 2026 වර්ෂයේ පළමු මාස 06 තුළ වත්මන් ජල ගාස්තු සංශෝධනයකින් තොරව පවත්වා ගෙන යාම පිණිස නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දී තිබේ.