May 19, 2026

අද (19) පැවැත්වීමට නියමිත ජාතික රණවිරු අනුස්මරණ දින උත්සවයට සහභාගී වීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට තවමත් කිසිදු ආරාධනයක් ලැබී නොමැති බව ඔහුගේ මාධ්‍ය ලේකම් නීතිඥ මනෝජ් ගමගේ පවසයි.

රටේ පස්වැනි විධායක ජනාධිපතිවරයා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට මෙම උත්සවයට ආරාධනා කර ඇති බවට අමාත්‍ය උපාලි පන්නිලගේ කළ ප්‍රකාශ අසත්‍ය බව ඔහු පැවසීය.

මහින්ද රාජපක්ෂට මෙම සැමරුමට ආරාධනා කර ඇති බව ප්‍රකාශ කිරීමෙන් අමාත්‍යවරයා මහජනතාව නොමඟ යවා ඇති බවට නීතිඥ මනෝජ් ගමගේ තවදුරටත් චෝදනා කළේය.

රණවිරු විජයග්‍රාහී දින උත්සව සඳහා ආරාධනා සාමාන්‍යයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය හෝ ආරක්ෂක අමාත්‍යාංශය හරහා නිල වශයෙන් ලබාදෙන බව ඔහු සඳහන් කළේය.

යුද්ධයේ හමුදා ජයග්‍රහණයෙන් වසර 17 ක් සනිටුහන් කරන “ජාතික රණවිරු අනුස්මරණ දින උත්සවය” අද (19) ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ලේ රණවිරු අනුස්මරණ ස්මාරකය අසල පැවැත්වීමට නියමිතය.