May 19, 2026

තම පක්ෂය සම්බන්ධයෙන් ඉරිදා ලංකාදීප පුවත්පතේ පළකරන ලද ‘දේශපාලන ඕපාදූපයක්’ සත්‍ය නොවන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

නිවේදනයක් නිකුත්කරමින් ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය ඒකකය පවසන්නේ, 2026 මැයි 17වැනි ඉරිදා “ඉරිදා ලංකාදීප” පුවත්පතේ 5වැනි පිටුවේ ‘තිරය පිටුපස’ නම් දේශපාලන ඕපාදූප ලියන පිටුවේ “පැලවත්තේ රැස්වීමේ පුටුවකට පයින් ගැසුව් කවුද” යන මාතෘකාව සහිතව ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික ජන බලවේගය පිළිබඳ ලියා ඇති කරුණු මුළුමනින්ම අසත්‍ය බවයි.

අදාළ නිවේදනයේ මෙසේ සඳහන් වේ.

‘එම ඕපාදූප ලිපියේ සඳහන් වන්නේ පැලවත්ත කාර්යාලයේ රැස්වීමකදී දෙපාර්ශ්වයක් අතර ගැටුමක් ඇත වූ බවය. ගැටුමට හේතුව ලෙස ලිපියේ දැක්වෙන්නේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ධූරයට එරාන් වික්‍රමරත්න ගැනීමත්, තවත් විපක්ෂයේ කිහිප දෙනෙක් ආණ්ඩුවේ තනතුරුවලට ගැනීමට, විශේෂයෙන් විපක්ෂ මන්ත්‍රීවරයෙක් නියෝජ්‍ය මුදල් ඇමති ධුරයට ගැනීමට යෝජනා වීමත් නිසා විවිධ මත පළ වී යම් කෙනෙක් පුටුවකටද පයින් ගැසූ බවය.
අවධාරණයෙන් කිව යුත්තේ ඉරිදා ලංකාදීප පුවත්පතේ එම ලිපියේ සඳහන් සියලූ කරුණු අසත්‍ය බවත් ඒවා සියල්ල කවුරුන් හෝ උපකල්පනය කොට නිර්මාණය කළ ‘අතේ රෝලක්’ බවත්ය.

මීට පෙරද සමාජ මාධ්‍යවල මෙවැනි ප්‍රවෘත්තියක් පළවූ අතර ඉන් කියවුණේ ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයාට පහර දීමක් සිදුව ඇති බවය. එයට ටිල්වින් සිල්වා සහෝදරයාම සමාජ මාධ්‍ය ඔස්සේ පිළිතුරු දී එම සාවද්‍ය ප්‍රවෘත්තිය ප්‍රතික්ෂේප කර තිබිණි.

එයද ඉරිදා ලංකාදීප ලිපියේ සඳහන් කර තිබේ. ජනතා විමුක්ති පෙරමුණ හෝ ජාතික ජන බලවේගය රැස්වීම් පවත්වන ආකාරය මෙවැනි බේගල් ලියන හෝ මෙවැනි බොරු තොරතුරු සපයන අයට සිතා ගැනීමටවත් නොහැකි බව කිව යුතුය. එම සාකච්ඡා ඉතා සුහදව පවත්වන බවත් ඉතාම ප්‍රජාතන්ත්‍රවාදීව හා සාමූහික එකඟතා සහිතව තීරණ ගන්නා බවත් එවැනි රැස්වීම්වලට සහභාගි වන සියල්ලෝ දනිති.

එහෙත් දැනට විපක්ෂයේ පක්ෂවල රැස්වීම්වල එවැනි ගැටුම් ඇති වූ අවස්ථා ඕනෑතරම් ඇති අතර ඇතැම්විට ඒවා පිළිබඳව මාධ්‍යවල වාර්තාද පළ වී ඇත. මෙම සටහන් ලියන ඇතැමුන් උපකල්පනය කරන්නේ ජ.විපෙ. හෝ ජාතික ජන බලවේගයද එසේ හැසිරෙනු ඇතැයි කියාය. එසේම ජවිපෙ හා මාලිමාව අතර ගැටුමක් ඇතැයි පෙන්වීමටද සමහරුන්ට අවශ්‍ය වී තිබේ. මෙවැනි අතේ පැලවෙන බොරු නිර්මාණය කරන්නේ සහ ඒවා පුවත්පත්වල පළ කරන්නේ එම අරමුණද සහිතවය.

විපක්ෂයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට සම්බන්ධ කර ගන්නවාද නැද්ද යන්න පිළිබඳව ජවිපෙ තුළ හෝ මාලිමාව තුළ කිසිදු විවාදයක් නැත. ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ සභාපති එරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයෙකු නොව හිටපු මන්ත්‍රීවරයෙකි. ඔහුට මෙම වගකීම ලබා දෙන්නේ විපක්ෂයේ අය ආණ්ඩුවට ගැනීමේ ක්‍රමයක් තුළ නොව අදාළ තනතුරට ඔහු සුදුසු නිසාය. එය විපක්ෂයට දරාගත නොහැකි බවද පැහැදිලිය.

විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිසිවකු ආණ්ඩුවට නොගැනීම මාලිමා ආණ්ඩුවේ ප්‍රතිපත්තියකි. අප මුල සිටම පෙනී සිටියේ පාර්ලිමේන්තුව තුළ ‘පැති මාරු කිරීම’ වැළැක්වීමට නීතියක් ගෙන ආ යුතු බවටය. කෙනෙක් පැති මාරු කරන්නේ නම් ඔහුගේ හෝ ඇයගේ අදාළ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට ඉඩ තිබිය යුතුය යන්න මාලිමාවේ ස්ථාවරයක් වේ. එය ප්‍රතිපත්ති මාලාවේද සඳහන් කර ඇත.

එම නිසා විපක්ෂයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුවේ ඇමතිකම්වලට ගැනීමේ කිසිදු අදහසක් හෝ ඒ ගැන විවාදයක් මාලිමාව තුළ හෝ ජවිපෙ තුළ නැත. තමන්ට නැති වටිනාකම් ආරෝපණය කර ගැනීම සඳහා විපක්ෂයේ සමහරුන් එලෙස රගපෑමට පටන්ගෙන සිටින බව ඇත්තය. එහෙත් එවැනි අදහසක් මාලිමාවට හෝ ජවිපෙට නැත.

අවසාන වශයෙන් ප්‍රකාශ කළ යුත්තේ ඉහත ඉරිදා ලංකාදීප පුවත්පත අප පක්ෂය සම්බන්ධයෙන් පළ කර ඇති කරුණු සියල්ලම මුළුමනින්ම අසත්‍ය, කිසියම් දේශපාලන වුවමනාවක් වෙනුවෙන් හිතාමතාම සකස් කළ කිසිදු සත්‍යතාවයක් නොමැති ඒවා බවය.’

මේ පිළිබඳව නිවැරදි කිරීමක් සිදුකරන ලෙස ඉරිදා ලංකාදීප පුවත්පතට ලිපියක් යවා තිබෙන බවද ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

කෙසේවෙතත් මේ හා සමාන පුවතක් අදාළ ආයතනයේම ඉංග්‍රීසි පුවත්පතක් වන Daily mirror හි ප්‍රධාන සිරස්තලයෙන්ද ඊයේ(18) පළකර තිබිණි.