May 18, 2026

අද පැවැති ජාතික රණවිරු අනුස්මරණ දින සැමරුම් උත්සවයේ පෙරහුරුවක් අතරතුර එහි කටයුතුවලට බාධා කළ බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු පිරිසකට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව පොලිසිය පවසයි.

ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය පැවසුවේ හෙට දිනයේ පැවැත්වීමට නියමිත ජාතික රණවිරු සැමරුම් දිනය වෙනුවෙන් වූ පෙරහුරු වැඩසටහනක් අද පැවැත්වූ අතර එහිදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු 35 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පෙරහුරු කටයුතුවලට හා නිලධාරීන්ගේ රාජකාරියට බාධා වන අයුරින් අනවසරයෙන් රණවිරු ස්මාරක භූමිය වෙත ඇතුළුවීමට උත්සහ දරා තිබූ බවයි.

එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් විසින් එම උත්සහය ව්‍යර්ථ කරන ලද අතර රැඳී සිටි පිරිස එම ස්ථානයෙන් ඉවත් කිරීමට ද කටයුතු කර ඇත.

ඒ සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු කණ්ඩායමට එරෙහිව ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.