May 15, 2026

අබුඩාබි සහ ටෙහෙරානය අතර නොසන්සුන්තා උත්සන්න වී පවතින පසුබිමක, දෙරට අතර සබඳතා තවදුරටත් ගැඹුරු කර ගැනීමේ අරමුණින් යුතුව, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉකුත් සිකුරාදා එම ගල්ෆ් කලාපීය රාජ්‍යයේ සිදු කළ සංචාරය අතරතුරදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඉන්දියාව ආරක්ෂක, බලශක්ති සහ නැව්ගත කිරීමේ ක්ෂේත්‍ර පිළිබඳ ගිවිසුම්වලට අත්සන් තබා ඇත.

දෙරට අතර සබඳතා ශක්තිමත් කිරීම සඳහා ගනු ලැබූ නවතම පියවර මාලාව සනිටුහන් කරමින්, මෙම ගිවිසුම්වලට අත්සන් තබන ලද්දේ සිකුරාදා දින අබුඩාබි හිදී ඉන්දියාවේ මෝදි අග්‍රාමාත්‍යවරයා සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සයීද් අල් නහියන් අතර පැවැති හමුවකදීය.

නිල ප්‍රකාශයකට අනුව, මෙම උපායමාර්ගික ආරක්ෂක හවුල්කාරිත්වය මඟින් “ආරක්ෂක කාර්මික සහයෝගීතාව සහ නවෝත්පාදන මෙන්ම උසස් තාක්ෂණය, පුහුණුවීම්, අභ්‍යාස, සමුද්‍රීය ආරක්ෂාව, සයිබර් ආරක්ෂණය, සුරක්ෂිත සන්නිවේදනය සහ තොරතුරු හුවමාරු කර ගැනීම පිළිබඳ සහයෝගීතාව” දෙපාර්ශ්වය විසින්ම තවදුරටත් ගැඹුරු කරනු ඇතැයි නියම කර ඇත.

ගිවිසුමට එළඹි තීරණාත්මක ක්ෂේත්‍රයක් වූයේ උපායමාර්ගික ඛනිජ තෙල් සංචිත සහ ද්‍රවීකෘත ස්වාභාවික වායු (LNG) සැපයුම වන අතර, එහිදී “එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆුජයිරා (Fujairah) හි සිදු කිරීමට නියමිත ඕනෑම විභව බොරතෙල් ගබඩා කිරීමක් ඉන්දියානු උපායමාර්ගික ඛනිජ තෙල් සංචිතයේ කොටසක් බවට පත්වන” බව ගිවිසුමක සඳහන් වේ.

මෙම හමුව සිදුවන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නැගෙනහිර වෙරළ තීරයේ පිහිටි ෆුජයිරා එමීර් රාජ්‍යයට ඉරානය විසින් ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කරමින් එහි තෙල් පිරිපහදුවක ගින්නක් ඇති කළ බවට සහ ඉන්දීය කම්කරුවන් තිදෙනෙකුට තුවාල සිදු කළ බවට එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් චෝදනා කිරීමෙන් පසුවය.

මෝදි අග්‍රාමාත්‍යවරයා X (ට්විටර්) සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් එම ප්‍රහාර හෙළා දුටු අතර, සාකච්ඡාව අතරතුරදී ඔහු කියා සිටියේ “එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඉලක්ක කර ගනිමින් එල්ල වූ ප්‍රහාර අප දැඩි ලෙස හෙළා දකින බව මම නැවත වරක් අවධාරණය කළා” යනුවෙනි.

යුද්ධය අතරතුරදී ඉරානය විසින් එල්ල කරන ලද රොකට් සහ ඩ්‍රෝන ප්‍රහාරවලට දැඩි ලෙස ඉලක්ක වූ රටක් වන එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ ඉන්දියානුවන් මිලියන 4.3ක් පමණ ජීවත් වෙමින් හෝ රැකියා කරමින් සිටිති.