May 16, 2026

වනවාසල ප්‍රදේශයේදී අද අලුයම දුම්රිය පීලි පැනීමක් සිදු වූ ස්ථානයේ දුම්රිය මාර්ගයේ ඇන ඉවත් කිරීම සම්බන්ධයෙන් සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු පෑලියගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මෙම පුද්ගලයා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවකු බව පොලිසිය පැවසීය.

පොලිසිය විසින් කරන ලද මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ සැකකරු දුම්රිය මාර්ගයෙන් ඉවත් කරන ලද ඇන වෙනත් ස්ථානයකට ප්‍රවාහනය කර ඇති බවයි.

සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා ද පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

පොල්ගහවෙල සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක් කැළණිය සහ වනවාසල දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ පීලි පැනීමෙන් එක් මැදිරියක් පෙරලීගොස් මගීන් දොළොස් දෙනෙකු තුවාල ලබා තිබිණි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී F.U. වූට්ලර් පවසන්නේ, තුවාල ලැබූ මගීන් අනතුර සිදු වූ ස්ථානය අසල පෞද්ගලික රෝහල්වලට ඇතුළත් කර ඇති අතර, එක් අයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇති බවයි.

අනතුරට ලක්වූ දුම්රිය අලුයම 3.25ට පොල්ගහවෙලින් පිටත් වී කළුතර දකුණ බලා ධාවනය වෙමින් තිබියදී පීලි පැනීම සිදුවිය.