May 15, 2026

2026 වර්ෂය තුළ දිවයිනම ආවරණය වන පරිදි ප්‍රධාන රෝහල් රැසක අති නවීන තාක්ෂණයෙන් යුත් හෘද කැතීටකරණ යන්ත්‍ර (Cath Lab) 16ක් ස්ථාපනයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.

මේ සඳහා වැයකිරීමට අපේක්ෂිත මුදල රුපියල් මිලියන 3,103කි.

මෙම ව්‍යාපෘතිය යටතේ කොළඹ, මහනුවර සහ ගාල්ල යන ජාතික රෝහල් ත්‍රිත්වයේ මෙන්ම මඩකළපුව, රත්නපුර, බදුල්ල, යාපනය, කලුබෝවිල, අනුරාධපුර, කුරුණෑගල යන ශික්ෂණ රෝහල්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ ද මෙම යන්ත්‍ර ස්ථාපිත කෙරෙනු ඇත.

​මෙම ව්‍යාපෘතිය සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදනවලට අමතරව ආසියානු සංවර්ධන බැංකුව (ADB) සහ ජයිකා (JICA) ආයතනයේ සහයෝගය ද හිමිව තිබේ.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් රුපියල් මිලියන 715ක් ද, ආසියානු සංවර්ධන බැංකුවේ සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 1,188ක් ද, ජයිකා ආධාර යටතේ රුපියල් මිලියන 1,200ක් ද ලෙස මෙම ආයෝජනය සිදු කෙරේ.

දැනට රෝහල් පද්ධතියේ ක්‍රියාත්මක යන්ත්‍රවලට අමතරව මෙම නව යන්ත්‍ර 16 ස්ථාපිත කිරීමත් සමඟ රජයේ රෝහල් සතු මුළු හෘද කැතීටකරණ යන්ත්‍ර සංඛ්‍යාව 26 දක්වා ඉහළ යනු ඇත.

​මෙම තාක්ෂණික දියුණුවත් සමඟ ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂණ, ස්ටෙන්ට් (Stent) ඇතුළත් කිරීම සහ පේස්මේකර් (Pacemaker) බද්ධ කිරීම වැනි අත්‍යවශ්‍ය හෘද රෝග ප්‍රතිකාර සේවාවන්හි ධාරිතාව වත්මන් මට්ටමට වඩා දෙගුණයකටත් වඩා වැඩි කිරීමට අපේක්ෂිතය.