May 15, 2026

වලංගු වීසා නොමැතිව රට තුළ රැඳී සිටි බවට චෝදනා කරමින් සිදු කළ වැටලීම් දෙකකදී විදේශිකයන් 17 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කළුතර උතුර පොලිස් කොට්ඨාසයට අයත් වස්කඩුව ප්‍රදේශයේ හෝටලයක් වැටලීමට පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ කණ්ඩායමක් ඊයේ (14) කටයුතු කර තිබිණි.

වයස අවුරුදු 22ත් 56ත් අතර චීන ජාතිකයන් 12 දෙනෙකු සහ මැලේසියානු ජාතිකයන් දෙදෙනෙකු ඇතුළුව විදේශිකයන් 14 දෙනෙකු එහිදී අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර, ත්‍රිකුණාමලය පොලිස් ස්ථානයේ නිලධාරීන් ත්‍රිකුණාමලය පොලිස් කොට්ඨාශයේ මුරුගරිපුරි ප්‍රදේශයේ හෝටලයක් ඊයේ වැටලූ අතර, එහිදී වීසා උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වයස අවුරුදු 49 සහ 50 වයස්වල පසුවන ඉන්දීය ජාතිකයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සිදුවීම් දෙක සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පිළිවෙලින් කළුතර උතුර පොලිසිය සහ ත්‍රිකුණාමලය පොලිසිය විසින් සිදු කරන බව පොලිසිය පැවසීය.