
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රුසියාව වෙනුවෙන් යුදබිමට ගිය විදේශීය සටන්කරුවෝ
www.occrp.org අඩවියට අනුව [https://www.occrp.org/en/news/ukrainian-data-reveals-extent-of-russias-efforts-to-recruit-foreign-fighters], යුක්රේන බලධාරීන් විසින් මාධ්‍යවේදීන් වෙත ලබා දෙන ලද දත්තවලට අනුව, 2022 පෙබරවාරි මාසයේදී යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු රුසියාව සිය හමුදා වෙත රටවල් 44 කින් විදේශීය සටන්කරුවන් 24,000 කට වඩා බඳවා ගෙන ඇත. එසේම දැනට යුක්රේන අත්අඩංගුවේ පසුවෙන මෙවන් කුලී බට පිරිස් අතර කොලොම්බියාවේ සිට කැමරුන් දක්වාත් ඉතාලියේ සිට චීනය දක්වාත් වූ රටවල ජාතිකයින් පසු වන බව යුක්රේනයේ යුධ සිරකරුවන්ට සැලකීම පිළිබඳ සම්බන්ධීකරණ මූලස්ථානය වාර්තා කරයි. එම දත්තවලට අනුව වැඩිම බඳවා ගැනීම් සංඛ්‍යාවක් මධ්‍යම ආසියාවෙන් සිදුවී ඇත. උස්බෙකිස්තානය, ටජිකිස්තානය, කසකස්තානය, කිර්ගිස්තානය සහ ටර්ක්මෙනිස්තානය යන රටවලින් සටන්කරුවන් 11,157 ක් පැමිණ ඇති අතර ඔවුන්ගෙන් අවම වශයෙන් 1,399 ක් මියගොස් ඇති බව එම නියෝජිතායතනය පවසයි.
ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියා රටවල දායකත්වය
ශ්‍රී ලංකාවෙන් මෙම යුද්ධයට දායකත්වය දැක්වූවන් පිළිබඳව පලවන තොරතුරු සම්බන්ධයෙන් විමසීමේදී ‘Himal Southasian’ වෙත මාධ්‍යවේදී සරෝජ් පතිරණ විසින් 2026 මාර්තු 05 වන දින සිදුකරන ලද හෙලිදරව්වකට අනුව, [https://www.himalmag.com/politics/russia-ukraine-war-casualties-southasia-srilanka]රුසියානු-යුක්රේන යුද්ධයේදී රුසියාව වෙනුවෙන් සටන් වැදුණු දකුණු ආසියාතිකයන් අවම වශයෙන් 455 දෙනෙකු මියගොස් ඇති බව යුක්රේනයේ යුධ සිරකරුවන්ට සැලකීම පිළිබඳ සම්බන්ධීකරණ මූලස්ථානය විසින් ලබාදුන් දත්ත පෙන්වා දෙයි. මෙම දත්තවලට අනුව 2022 ආක්රාමණයේ සිට 2025 සැප්තැම්බර් දක්වා කාලය තුළ ශ්‍රී ලංකාව, නේපාලය, ඉන්දියාව, බංග්ලාදේශය, පකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය යන රටවල පුරවැසියන් 1923 දෙනෙකු බඳවා ගෙන ඇත.
මරණ ලැයිස්තුවේ ඉහළින්ම සිටින්නේ ශ්‍රී ලංකාවයි. බඳවාගත් 751 දෙනාගෙන් අවම වශයෙන් 275 දෙනෙකු සටන් බිමේදී මියගොස් ඇත. රුසියානු හමුදාවට බඳවාගත්, මියගිය හෝ අතුරුදන් වූ ශ්‍රී ලාංකිකයන්ගේ සැබෑ සංඛ්‍යාව මීට වඩා බෙහෙවින් වැඩිවිය හැකි බව සම්බන්ධීකරණ මූලස්ථානය පවසයි. පසුගිය වසරේ ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය විජිත හේරත් පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ රජය සතු තොරතුරු අනුව මෙලෙස බඳවා ගත් 554 දෙනෙකුගෙන් 59 දෙනෙකු මියගොස් ඇති බවයි.
බොහෝ දකුණු ආසියාතිකයින් සිවිල් රැකියා ලබා දෙන බවට ව්‍යාජ පොරොන්දු ලබා දී රුසියානු හමුදාවට බඳවාගෙන ඇත්තේ නීතිවිරෝධී නියෝජිතයන් මාර්ගයෙනි. මෙලෙස මියගිය අයවලුන්ගේ පවුල් පවසන්නේ, එලෙස යුද බිමේදී මියගිය සිය පවුලේ සාමාජිකයා වෙනුවෙන් ගෙවිය යුතු වැටුප් සහ මරණ ප්රතිලාභ ලබාදීම ප්‍රමාද කරන බව හෝ වංචනික ලෙස නිලධාරීන් විසින් සොරාගන්නා බවයි.
පසුබිම: හිටපු හමුදා නිලධාරීන් ඉලක්ක කර ගන්නේ ඇයි?
පවතින රුසියානු-යුක්රේන ගැටුම හමුවේ විදේශීය බඳවාගැනීමේ ඒජන්තයින් සක්‍රිය සේවයේ නියුතු හෝ දැනට සේවයෙන් බැහැරව සිටින ශ්‍රී ලාංකික හමුදා නිලධාරීන් කෙරෙහි වැඩි වශයෙන් අවධානය යොමුකර ඇති බව පෙනීයයි. මෙයට ප්‍රධාන හේතුව නම් පාබල මෙහෙයුම්, සැපයුම්, ඉංජිනේරු සහ ආරක්ෂක භූමිකාවන්හි අත්දැකීම් ඇති සටන් පුහුණුව ලත් විශාල පුහුණු පිරිස් බලකායක් ශ්‍රී ලංකාව සතුවීමයි. ආරක්ෂක අංශයේ බොහෝ හිටපු සේවා සාමාජිකයෝ ආර්ථික දුෂ්කරතා, සේවයෙන් පසු හිමිවන සීමිත රැකියා අවස්ථා සහ සිවිල් ජීවිතයට නැවත අනුගත වීමේ අභියෝගවලට මුහුණ දෙති. මෙම පරිසරය තුළ, ඉහළ වැටුප්, වරප්‍රසාද සහ ඉක්මන් යෙදවීම් පිළිබඳ පොරොන්දු සහිතව ප්‍රවර්ධනය කෙරෙන විදේශීය මිලිටරි සහ ආරක්ෂක මෙහෙයුම් මගින් ඔවුනට, මූල්‍ය ස්ථාවරත්වයක් සහ ඔවුන්ගේ ජිවිතයට නව අරමුණක් ලබාදෙන බවක් පෙනෙන්නට තිබේ.
ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයින් බදවාගැනීම් සහ විදේශීය මැදිහත්වීම් සඳහා සමාජ මාධ්‍ය භාවිතය
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පළවන තොරතුරුවලට අනුව පසුගිය වසර කිහිපය තුළ, රුසියානු-යුක්රේන ගැටුම උත්සන්න වීමෙන් පසුව, ශ්‍රී ලංකාවේ ආරක්ෂක සේවයේ නියැළුණු සෙබළුන් පිරිසක් රුසියානු අනුබද්ධ හමුදා විසින් බඳවාගනු ලැබ ඇති බව වාර්තා වේ. මෙම බඳවාගැනීම් ක්‍රියාවලිය කෙතරම් දුරට නිත්‍යානුකුල දැයි නොදන්නා අතර, මෙම බදවාගැනීම් පිළිබඳව වූ මුල්කාලීන වාර්තා අනුව මේ ක්‍රි යාදාමය පිටුපස මිනිස් ජාවාරම සම්බන්ධ ක්‍රියාවලියක් සිදුවන බවට කරුණු වාර්තා විය. ඉහත වාර්තා වන අන්දමේ විශාල පිරිසක් සේවය සදහා රුසියාව වෙත රැගෙන ගියේ කුමන ආකාරයෙන්ද මෙන්ම ශ්‍රී ලංකාවේ බලධාරීන් ඒ සම්බන්ධයෙන් දැනුම්වත්ද යන කාරණා අදටත් පැහැදිලි නොවේ.
මෙම කරුණු එසේ තිබියදී මෙතරම් හිටපු හමුදා සාමාජිකයන් පිරිසක් මෙම යුද බිමේ රැකියා සඳහා ආකර්ශනය කර ගත්තේ කෙසේදැයි තොරතුරු විමසීම වෙනුවෙන් ‘විදේශීය තොරතුරු හැසිරවීම් සහ මැදිහත්වීම් (FIMI)’ පිළිබඳව වන සමීක්ෂණයකදී, රුසියානු හමුදාවලට ශ්‍රී ලාංකීය හමුදා නිලධාරීන් සහ සෙබළුන් බඳවාගැනීම සහ ආකර්ශනය කර ගැනීම පිළිබඳව, සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන ලද සංවිධානාත්මක ප්රමචාරණ ව්‍යාපාරයන් සම්බන්ධයෙන් – සමාජ මාධ්‍යම නිරීක්ෂණ දත්ත, විවෘත මූලාශ්‍ර තොරතුරු සහ ජාල විශ්ලේෂණයන් මත පදනම්ව, විදේශීය තොරතුරු හැසිරවීම් සහ මැදිහත්වීම් (FIMI) සමඟ අනුකූල වන රටාවන් හඳුනාගැනීමට මෙන්ම යම්තාක් දුරකට තොරතුරු හෙළිදරව් කරගැනීමට ද හැකියාව ලැබී තිබේ.
විදේශීය ගැටුම්වලට සහභාගී වීම සාමාන්‍යයකරණය කරන, රුසියානු හිතවාදී හමුදා පණිවිඩ ප්රැවර්ධනය කරන, මූල්‍ය දිරිගැන්වීම් අවධාරණය කරන සහ විදේශීය හමුදා සේවය ගෞරවනීය රැකියාවක් ලෙස හුවා දක්වන සම්බන්ධීකරණය කරන ලද මතවාදයන් මෙම සමීක්ෂණය ඔස්සේ හඳුනාගැනීමට හැකිවී ඇත. උදාහරණයක් ලෙස, ශ්‍රී ලංකාව පදනම් කරගත් “Wanesa TV” නම් යූ ටියුබ් (YouTube) නාලිකාව, රුසියානු යුක්රේයන ගැටුමට ගොස් ආපසු පැමිණි ශ්‍රී ලාංකිකයකු සමග සිදුකරන සම්මුඛ සාකච්ඡවක් මගින් ‘රුසියානු පත්තරේ මුල්පිටුව හැඩකළ ප්‍රබල බංකරය අත්පත් කරගත් ශ්‍රී ලාංකික විරුවා’ යන ශීර්ෂය යටතේ [https://youtu.be/sLMGCh81jKQ?si=cbV1NjjC6s9tZwRY] සටන්කරුවකු වීර චරිතයක් ලෙස නිරූපණය කර ඇති අතර, ඔහුගේ යුධ අත්දැකීම් උත්කර්ශයට නංවන අයුරින් විස්තර කර ඇත. මෙවැනි කතා මගින් විදේශීය හමුදා සේවය කීර්තිමත් සහ ප්රතිලාභ සහිත දෙයක් ලෙස ඉදිරිපත් කරන අතර, එමගින් හිටපු ශ්‍රී ලාංකික සේවා සාමාජිකයන්ට මෙවැනි යෙදවීම්වලට යොමුවීමට දිරිගැන්වීමක් ඇති විය හැකිය. මෙම වර්ධනයන් මගින් පෙනීයන්නේ සම්බන්ධීකරණය කරන ලද බලපෑම්කාරී මතවාද, මාධ්‍ය ව්‍යාපෘතිය සහ අනන්‍යතාව පදනම් කරගත් පණිවිඩ හරහා ආර්ථික වශයෙන් අවදානමට ලක් වූ සහ රැකියා විරහිත ප්‍රවීණ සෙබළුන් ඉලක්ක කරගත් බඳවාගැනීමේ ක්‍රියාවලියක් ගොඩනැගෙමින් පවතින බවයි.
මෙවැනි අන්තර්ගතයන් තුලින් සෘජු අදහසක් ලබාගත හැකි වුවද, තවදුරටත් සෙසු සමාජ මාධ්‍ය ජාලා පිටු හරහා සිදුකරන ලද අධ්‍යයනයේදී වඩාත් සූක්ශම අයුරින් මෙම ක්‍රියාදාමයට සිදුකරන මැදිහත්වීම් දක්නට ලැබිණි.
තොරතුරු පරිසරය සහ සමාජ මාධ්‍යය පද්ධතිය
මෙහිදී ආර්ථික අභිප්රේරණයන්ට අමතරව, බඳවා ගැනීමේ පණිවිඩ වෙනුවෙන් බොහෝ විට අනන්යමතාවය සහ මනෝවිද්යාරත්මක සාධක ද යොදා ගනී. විදේශීය හමුදා බඳවා ගැනීම් වෙනුවෙන් නිර්මාණය කර ඇති තොරතුරු පරිසරය හැඩගස්වනු ලබන්නේ විදේශීය ගැටුම්වලට සහභාගී වීම සාමාන්‍යකරණය කරන සමාජ මාධ්යෙ වේදිකා, වීඩියෝ නාලිකා සහ යුද්ධය කේන්ද්‍ර කරගත් අන්තර්ගතයන් සහිත පද්ධතියක් මගිනි. රුසියානු-යුක්රේන යුද්ධයේ යාවත්කාලීන කිරීම්, සටන් දර්ශන, උපායමාර්ගික විශ්ලේෂණ සහ භූ දේශපාලනික විවරණ බෙදාගන්නා අන්තර්ජාල අවකාශයන් බොහෝ විට හමුදාමය සම්බන්ධ වීම වෘත්තීයමය, උපායමාර්ගික සහ ගෞරවනීය දෙයක් ලෙස නිරූපණය කරයි. එවැනි අන්තර්ගතයන් මගින් වීරත්වය, සහෝදරත්වය සහ මූල්‍ය අවස්ථා පිළිබඳ මතවාදයන් තහවුරු කරන අතරම යුද්ධයේ යථාර්ථය කෙරෙහි ඇති සංවේදීතාව අඩු කළ හැකිය.
විවිධ වේදිකා හරහා සිදුවන ප්‍රචාරණය, ඇල්ගොරිතම (Algorithm) මගින් මෙහෙයවන අන්තර්ගත නිර්දේශයන් සහ විදේශගත ලාංකික තොරතුරු ජාලයන් මෙම මතවාදවල ව්‍යාප්තිය තවදුරටත් පුළුල් කරයි. යුද්ධයට අදාළ අන්තර්ගතයන් නැරඹීම බොහෝ විට පරිශීලකයින්ව වඩ වඩාත් සමාන තොරතුරු වෙත යොමු කරන අතර එමගින් යුද්ධයට පක්ශපාතී පණිවිඩවලට නිරාවරණය වීම වැඩි කරයි. අනන්‍යතාවය පදනම් කරගත් කතාන්දර, ආර්ථික පසුබිම සහ සම්බන්ධීකරණය කරන ලද මාධ්‍ය ප්‍රචාරණයන් ඒකාබද්ධ වූ මෙම පද්ධතිය, තොරතුරු හැසිරවීම්වලට ගොදුරු විය හැකි පරිසරයක් නිර්මාණය කරන අතර හිටපු හමුදා ප්‍රජාවන් බලපෑම් මෙහෙයුම්වල උපායමාර්ගික ඉලක්කයක් බවට පත්කරයි.
නිරීක්ෂණ වාර්තාවේ සාරාංශය
• මෙම වාර්තාව මගින් විදේශීය තොරතුරු හැසිරවීමේ (FIMI) මෙහෙයුම්වල මූලික ලක්ෂණ පෙන්නුම් කරන, ශ්‍රී ලංකාවෙන් ආරම්භ වූ ෆේස්බුක් ගිණුම් හතක (පිටු 6ක් සහ 1 සමූහයක්) එකතුවක් විශ්ලේෂණය කර තිබේ [Global Military Update, Military Frenzy, Military LK, රුසියන්කාරයා (Russian), RUSSO Руссо, Nil Tharu Viyana Yata, Russia Ukraine Group].
• මෙම පිටු හරහා 2025 සැප්තැම්බර් මාසයේ සිට 2026 මාර්තු මාසය වන විට තොරතුරු බෙදාහැරීම් (පෝස්ට්, වීඩියෝ, තවත්) 4485ක් පමණ වන අතර ඒවා තුළ අදහස් දැක්වීම් 18461, බෙදාහැරීම් (ශෙයා) 18975ක් සහ වීඩියෝ නරඹුම්වාර 6817245 ක් ලෙස ගණනය කර තිබේ.
• මෙම සමාජ මාධ්‍ය ගිණුම් සහ පිටු වෙනත් අභිමතාර්ථ වෙනුවෙන් සකස් කර (වාණිජ අන්තර්ගතයන්ගෙන් දේශපාලන අන්තර්ගතයන් වෙත මාරුවීම) පසුකාලීනව රුසියානු හිතවාදී යුධ තොරතුරු ප්‍රචාරනය සදහා යොමු වී ඇත. පසුගිය දෙවසරක කාලයට අනුව තොරතුරු විශ්ලේශනයේදී අතිවිශාල යුධ බිමේ සිදුවන ක්‍රියාදාමයන් රුසියානු පාර්ශ්වයට ගැති වන සේ ප්‍රචාරනය කර තිබේ. මෙහි දිගුවක් ලෙස ඉරානය සහ ඇමරිකානු පාර්ශවයේ යුද්ධය ආරම්භ වූ විගස මෙම සමාජ මාධ්‍ය ගිණුම් සහ පිටු ඉරාන පාර්ශවයට පක්ශපාතී තොරතුරු ප්‍රචාරණය ආරම්භ කර තිබේ.
• මෙම ගිණුම් පරිපාලනය ශ්‍රී ලංකාවෙන් ඔබ්බට දේශසීමා ඉක්මවා ගිය කළමනාකරණයක් සහිත බව පෙන්නුම් කරයි. මේවායේ පරිපාලකයන් ශ්‍රී ලංකාවට අමතරව, රුසියාව, ජපානය වැනි වෙනත් රටවල සිට මෙහෙයවන බවක් නිරීක්ෂණය වේ.
• මෙම ජාලය සරල මිලිටරි පුවත් එක්රැස් කිරීමේ සිට සෘජු භූ දේශපාලනික බලපෑම් එල්ල කිරීම දක්වා ඉතා සංකීර්ණ ලෙස පරිණාමය වී ඇති බව පෙනී යයි.
• මෙම මුලාශ්‍ර අතර අන්තර්ගතයන් සෘජුවම හුවමාරු කර ගන්නා අවස්ථා රාශියක් පවතින අතර, එමගින් ඒවා අතර පවතින සම්බන්ධීකරණය කරන ලද පරිපාලනමය සබඳතාවය මැනවින් පෙන්නුම් කරයි.
• මෙම සමාජ මාධ්‍ය ගිනුම් ඔස්සේ එකම අවස්ථාවකදී එකම ආකාරයේ “Breaking News”, ග්‍රැෆික් නිර්මාණ සහ මතවාදයන් පළ කරන අතර, ඒවා බොහෝ විට රුසියානු රජය මගින් පාලනය වන මාධ්‍ය මත පදනම් වේ. තවද මෙම මූලාශ්‍ර රුසියාවේ හමුදාමය උත්තරීතරභාවය සහ බටහිර බලයේ පරිහානිය පෙන්වීම සඳහා පොදු දෘශ්‍ය අංග සහ තේමාවන් භාවිත කරයි.
• මෙම ගිණුම් ස්වාධීන ඒකක නොවන බවත්, ඒවා “ජාල සිතියම්කරණ ශිල්පීය ක්‍රම… පොදු පරිපාලකයන්, පොදු ප්‍රේක්ෂකයින් සහ අන්තර්-ප්‍රකාශන හැසිරීම්” හරහා ශ්‍රී ලංකාවේ ඩිජිටල් අවකාශය තුළ විදේශීය උපායමාර්ගික අවශ්‍යතා ප්‍රවර්ධනය කිරීමට සකස් කරන ලද ව්‍යුහගත ජාලයක කොටස්කරුවන් බවටත් සැක පහළ වේ.
කෙසේ වුවද මෙම ප්රවණතා අග්නිදිග ආසියාතික රටවල සිදුවන ආකාරයේ ක්‍රියාකාරකම් හා සාපේක්ෂව විමසා බලන කල ඉතා සෙමින් වර්ධනය වන ප්‍රවණතාවක් සේ දැකිය හැකිය. විශේෂයෙන්ම අග්නිදිග ආසියාතික කලාපයේ බටහිර කඳවුර හා සමීප රාජ්‍යවලට විරුද්ධව චීනය සහ රුසියාව වැනි රටවල් විසින් දැඩි සයිබර් සම්ප්‍රචාරණ ව්‍යාපෘති සමාජ මාධ්‍ය ඔස්සේ මුදාහරියි. නමුත් මෙය ලංකාව තුළ තවමත් වර්ධනීය ස්වභාවයක් ගන්නා බව පෙනී යයි. කෙසේවුවද ඉන්දියන් සාගරයේ භූදේශපාලනික වශයෙන් පුපුරා යා හැකි තවමත් අක්‍රිය ගිනි කන්දක් බදු ශ්‍රී ලංකාව තුළ මෙවන් ව්‍යාපෘතිවලට දායක කරගත හැකි පිරිස් මෙන්ම මතවාදීමය මූලයන් පැවතීම අනාගතය බලපාන ගැටුම් මූල මතුකර දක්වයි.
Image Courtesy -www.himalmag.com [https://www.himalmag.com/politics/russia-ukraine-war-casualties-southasia-srilanka]
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart