May 5, 2026

බටහිර අප්‍රිකාවට ඔබ්බෙන් නවතා ඇති සුඛෝපභෝගී මගී නෞකාවක මාරාන්තික “හැන්ටාවයිරස්” රෝග ලක්ෂණ සහිත පුද්ගලයින් දෙදෙනෙකු ඉවත් කර ගැනීමට වෛද්‍ය කණ්ඩායම් කටයුතු කරමින් සිටි බව බලධාරීහු ප්‍රකාශ කළහ.

බ්‍රිතාන්‍ය, ඇමරිකානු සහ ස්පාඤ්ඤ ජාතිකයන් බහුලව සිටින මෙම නෞකාව තුළ වෛරසය ව්‍යාප්ත වී ඇති බවට සැක කෙරේ.

ලන්දේසි ජාතික යුවළක් සහ ජර්මානු ජාතිකයෙකු ඇතුළු තිදෙනෙකු මිය යාමෙන් පසුවත්, තවත් පිරිසක් රෝගාතුර වීමෙන් පසුවත් 150 කට ආසන්න පිරිසක් තවමත් නෞකාව තුළ සිරවී සිටිති.

රෝගාතුර වූවන් අතරින් එක් බ්‍රිතාන්‍ය ජාතිකයෙකු නෞකාවෙන් පිටතට ගොස් ඇති අතර ඔහු දැනට දකුණු අප්‍රිකාවේ ප්‍රතිකාර ලබන බව බලධාරීහු වැඩිදුරටත් පැවසූහ.

මෙම සෞඛ්‍ය අර්බුදය සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා සහය දක්වන නෙදර්ලන්තයේ ජාතික මහජන සෞඛ්‍ය හා පරිසර ආයතනය ප්‍රකාශ කළේ, රෝග ලක්ෂණ පෙන්වූ රෝගීන්ගෙන් එක් අයෙකුට හැන්ටාවයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති බවයි.

මෙම සිදුවීම පිළිබඳව තොරතුරු දන්නා මූලාශ්‍රයකට අනුව, මියගිය නෙදර්ලන්ත ජාතික කාන්තාවටද එම වෛරසය වැළඳී ඇති බව පරීක්ෂණවලින් තහවුරු වී ඇත.

රෝග ලක්ෂණ පෙන්වන සෙසු පිරිසට ද මෙම වෛරසය ආසාදනය වී තිබේද, නැතහොත් අනෙක් මරණ ද මෙම වෛරසය නිසාම සිදුවූයේ ද යන්න පිළිබඳව මෙතෙක් පැහැදිලි නැති බව නෙදර්ලන්තයේ ජාතික මහජන සෞඛ්‍ය හා පරිසර ආයතනය ආයතනය ප්‍රකාශ කළේය.

මාරාන්තික ශ්වසන රෝග ඇති කළ හැකි හැන්ටාවයිරසය මීයන් වැනි සතුන්ගේ මළපහ හෝ මුත්‍රා අංශු වාතයට මුසු වීමෙන් පැතිර යා හැක.

එය මිනිසුන් අතර පහසුවෙන් සම්ප්‍රේෂණය නොවේ.

මෙම රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා නිශ්චිත ඖෂධ නොමැති බැවින්, ප්‍රතිකාර කිරීමේදී රෝගියාට අවශ්‍ය සහයෝගී සත්කාර ලබා දීම කෙරෙහි අවධානය යොමු කෙරේ.

දැඩි ලෙස රෝගාතුර වූවන් වෙනුවෙන් වෙන්ටිලේටර් යන්ත්‍ර භාවිත කිරීම ද මෙයට ඇතුළත් වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ප්‍රකාශ කළේ සාමාන්‍ය ජනතාවට මෙයින් ඇති අවදානම අඩු මට්ටමක පවතින බැවින් අනවශ්‍ය ලෙස කලබල වීමට හෝ සංචාරක සීමා පැනවීමට අවශ්‍ය නොවන බවයි.

කෙසේ වෙතත්, පූර්වාරක්ෂක පියවරක් ලෙස MV Hondius නෞකාවට සිය වරායට පැමිණීමට අවසර නොදුන් බව Cape Verde දූපත් රාජ්‍යයේ බලධාරීහු පැවසූහ.

මෙම සුඛෝපභෝගී මගී නෞකාව තුළ හැන්ටාවයිරසය වැළඳුණු පුද්ගලයන් හත් දෙනෙකු හඳුනාගෙන ඇති බවත්, ඉන් දෙදෙනෙකු පරීක්ෂණ මගින් තහවුරු කර ඇති අතර පස් දෙනෙකු සැක සහිත රෝගීන් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

නෞකාවේ ක්‍රියාකරු වන ඕලන්දයේ පිහිටි Oceanwide Expeditions ආයතනයේ ප්‍රකාශකයෙකු පැවසුවේ, පූර්වාරක්ෂක පියවරක් ලෙස වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා සියලුම මගීන්ට තමන්ගේ කුටි තුළම රැඳී සිටින ලෙස උපදෙස් දී ඇති බවයි.

මිනිසාගෙන් මිනිසාට වෛරසය සම්ප්‍රේෂණය වීම දුර්ලභ වුවද, එහි රෝග බීජෞෂණ කාලය සති කිහිපයක් පැවතිය හැකිය.

මෙහි අර්ථය වන්නේ ඇතැම් පුද්ගලයින් තුළ තවමත් රෝග ලක්ෂණ මතු වී නොතිබිය හැකි බවයි.

Oceanwide Expeditions ආයතනය, රෝග ලක්ෂණ සහිත කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු (බ්‍රිතාන්‍ය සහ ඕලන්ද ජාතිකයන් දෙදෙනෙක්), මියගිය ජර්මානු ජාතිකයාගේ දේහය සහ රෝග ලක්ෂණ නොමැති නමුත් මියගිය පුද්ගලයාට සමීපව ඇසුරු කළ අමුත්තෙකු නැවත සිය රටවල් වෙත යැවීමට කටයුතු කරමින් සිටියි.

Las Palmas සහ Tenerife දූපත් වලදී මගීන් පරීක්ෂා කර නෞකාවෙන් බැස්සවිය හැකිද යන්න පිළිබඳව ද සමාගම සොයා බලමින් සිටින බව වාර්තා වේ.

කෙසේ වෙතත්, නෞකාව වරායට ගෙන ඒමට හෝ මගීන් ගොඩබැස්වීමට අදාළ කිසිදු ඉල්ලීමක් මෙතෙක් තමන් වෙත ලැබී නොමැති බව ස්පාඤ්ඤ බලධාරීහු ප්‍රකාශ කළහ.