
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
“අප්පච්චි උදේම පිහියකුත් අරගෙන වත්ත සුද්ද කරන්න යනවා කියලා ගෙදරින් ගියා. ටික වෙලාවකට පස්සෙ වත්තේ තියෙන අප්පච්චිගේ බුලත් කොටුවේ වැඩ කරන අය ඇවිත් කීවා අප්පච්චි ලේ ගලන තුවාල සහිතව වත්තේ වැටිලා ඉන්නවා කියලා.” යැයි මහාභාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්යක්ෂවරයා ලෙස කටයුතු කළ ඒ.එම්. රංග නිශාන්ත රාජපක්ෂගේ මරණ පරීක්ෂණයේදී ඔහුගේ දියණියක් සාක්ෂි ලබා දෙමින් පැවසුවාය.
මියගොස් සිටින රංග නිශාන්ත රාජපක්ෂ දියණියන් දෙදෙනකුගේ පියෙකි. වැඩිමහල් දියණිය විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන අතර, පහළොස් හැවිරිදි දෙවැනි දියණිය පාසල් සිසුවියකි. ඔහුගේ බිරිය ද පාසල් ගුරුවරියකි. භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක විශාල මුදලක් හැකර්වරුන් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමකට ලක්ව සිටියදී රංග රාජපක්ෂ මහතා තම නිවෙසේ ගෙවත්තේදී පසුගිය 30 වැනි දින පෙරවරුවේ මරණයට පත්ව සිටියේය. මෙම සිදුවීම ඉමහත් ආන්දෝලනයකට ලක්වූ සිදුවීමක් වූයේ එම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් සිදු කරමින් සිටින අතරවාරයේදී ප්‍රධානම නිලධාරියකු වශයෙන් සැලකෙන සහකාර අධ්යක්ෂ රංග රාජපක්ෂ මේ ආකාරයට මරණයට පත්වීමය. මෙය සියදිවි හානිකර ගැනීමක් ද නැත්නම් ඝාතනයක් ද යන බරපතළ ගැටලුව පොලිස් විමර්ශන අංශවලට ද ඇතිව තිබිණි.
ඔහුගේ මරණය සම්බන්ධයෙන් පැවැති මරණ පරීක්ෂණයේදී පහළොස් හැවිරිදි දියණිය සාක්ෂි දෙමින් මෙසේද පවසා ඇත.
“අප්පච්චි මට කීවා වත්තට ගිහින් ඉක්මනින් එන්නම් කියලා. මම කීවා උදේට කාලා යන්න කියලා. කන්න පස්සේ එන්නම් කියලා තමයි අප්පච්චි වත්තට ගියේ. බුලත් කොටුවේ වැඩ කරන කෙනෙක් ඇවිත් කීවා අප්පච්චි වත්තේ වැටිලා ඉන්නවා කියලා. පසුව ඒ අය අප්පච්චි ඔසවාගෙන ගෙදරට අරගෙන ආවා. අප්පච්චිගේ කකුල් දෙකෙන් ලේ ගලාගෙන ගිහින් තිබෙන බව මම ඒ වෙලාවේ දැක්කා. මම ඒ වෙලාවේම අම්මට කතා කරලා මේ ගැන කීවා. මට හිතාගන්න බැහැ ඇයි එයාට මෙහෙම දෙයක් වුණේ කියලා. එයා අම්මටයි අක්කටයි මටයි හරිම ආදරෙන් හිටියේ.”
මෙම කරුණු සහ පශ්චාත් මරණ පරීක්ෂණය මත ඔහුගේ මරණය සියදිවි හානිකර ගැනීමක් බවට අනාවරණය වී තිබේ. ඉමහත් ආන්දෝලනයකට ලක්වූ මෙම හදිසි මරණය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ උපදෙස් මත පත්කළ සිව් පුද්ගල විශේෂඥ අධිකරණ වෛද්‍ය කමිටුවක් විසින් පසුගිය සිකුරාදා (1) කුලියාපිටිය රෝහලේදී එම පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරනු ලැබිණි. කුරුණෑගල ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය ඉලංගරත්න බණ්ඩා, කුලියාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය අජිත් ජයසේන, අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය සම්පත් සේනතුංග සහ නිකවැරටිය මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය යූ.ඩී.ජී. දිසානායකගෙන් යුත් කණ්ඩායම එම පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර තිබිණි. එම මරණ පරීක්ෂණයෙන් අනතුරුව විශේෂඥ වෛද්‍ය කමිටුවේ නිගමනය වූයේ මෙම මරණය රංග රාජපක්ෂ විසින්ම සිදු කරගනු ලැබූ සියදිවි නසාගැනීමක් වන බවයි. ඒ අනුව, මරණකරු කුඩා පිහියකින් තමන්ගේ පාද දෙකේ ප්‍රධාන බල නහර (Veins) සහ අතක ප්‍රධාන ලේ ධමනියක් (Artery) කපා ගැනීමෙන් සිදු වූ අධික රුධිර වහනය මරණයට හේතුව ලෙස එම වෛද්‍ය වාර්තා මඟින් තහවුරු කර තිබේ. සියලුම විද්‍යාත්මක සාක්ෂි සහ පටක පරීක්ෂණ මත පදනම්ව ඔවුන් මෙම තීන්දුව ලබා දී ඇත.
ඔහු වීරඹුව පිහිටි ඔහුගේ නිවෙසේ ගෙවත්තේ පවත්වාගෙන යන බුලත් වගාවක් ආසන්නයේ තිබෙන කෙසෙල් පඳුරක් යටදී පිහියකින් තම අත් හා පාද කපාගෙන සිටි බව කියයි. රංග රාජපක්ෂ විසින් කරගෙන යනු ලබන බුලත් වගාවේ සේවයට පැමිණි සේවකයන් පිරිසක් ඔහු ලේ ගලමින් වැටී සිටින ආකාරය මුලින්ම දැක ඇත. පසුව සේවකයන් එක්ව ඔහු නිවෙසට රැගෙනවිත් ඒ බව නිවෙසේ සිටි ඔහුගේ දියණියකට දැන්වීමෙන් අනතුරුව ඇය ඒ බව තම මවට දැනුම් දී තිබේ. පසුව රංග රාජපක්ෂගේ බිරිය ඒ බව පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව කුලියාපිටිය මූලස්ථාන පොලීසියේ නිලධාරීන් පිරිසක් පැමිණ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කෙරිණි. තුවාල සිදුකර ගැනීමට පාවිච්චි කර ඇති පිහිය ද ඔහුගේ නිවෙසේ භාවිතයට ගනිමින් තිබූ එකක් බවත්, එහි ලේ තැවරී තිබූ බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
සිදුව ඇති මුදල් වංචාව හේතුවෙන් තමන්ගේ සේවය අත්හිටුවීමට ගෙන තිබූ තීරණය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් දින ගණනාවක් අඛණ්ඩව සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු දැඩි මානසික පීඩනයකට ලක්ව සිටි බව මේ සම්බන්ධයෙන් සිදුකරන පොලිස් විමර්ශනවලදී ලැබී ඇති සාක්ෂි අනුව අනාවරණය වී තිබේ. මෙම සිදුවීම හරහා ඔහුට තම බිරියට, දරුවන්ට හා සමාජය හමුවේ මුහුණදීමට සිදුවන ලැජ්ජාව පිළිබඳව ඔහු මරණයට පෙර දැඩි ලෙස සංවේදී වී සිටි බව පවුලේ සාමාජිකයන් හා මරණ පරීක්ෂණයේදී බිරිය සහ දියණියක විසින් ලබා දී ඇති සාක්ෂිවලින් ද තහවුරු වී ඇත. ශ්‍රී ලංකා සැලසුම් සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වන රංග රාජපක්ෂ කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ ආදි සිසුවකු වන අතර, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධිධාරියකු ද වේ. ඔහු මරණයට පත් වන විට පනස් හැවිරිදි වියෙහි පසුවිය. දේහය පිළිබඳ අවසාන කටයුතු පෙරේදා (2) පස්වරුවේ කුලියාපිටිය වීරඹුව පොදු සුසාන භූමියේදී විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සිදුකෙරිණි.
(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart