April 21, 2026

2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර පිළිබඳ පරීක්ෂණ වත්මන් ආණ්ඩුව යටතේ ප්‍රගතියක් ලබා ඇති බව කොළඹ අගරදගුරු අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ පවසති.

ප්‍රහාරයෙන් වසර හතක් සැපිරීම හේතුවෙන් අද උදෑසන පැවති විශේෂ දේවමෙහෙය අමතමින් අගරදගුරු හිමිපාණන් සඳහන් කළේ, ඇතැම් පාර්ශවයන් පරීක්ෂණවලට බාධා කිරීමට උත්සාහ කරන බවයි.

ප්‍රහාර සම්බන්ධයෙන් තම රාජකාරි ඉටුකිරීමට අපොහොසත් වූ ජනාධිපතිවරුන්, ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරීන් සහ පොලිසිය ඇතුළු නිලධාරීන්ට එරෙහිව නඩු පැවරීමට, ජනාධිපති කොමිසමේ නියෝග නොතකා නීතිපතිවරයා සහ ඔහුගේ දෙපාර්තමේන්තුව පියවර ගැනීම ප්‍රමාද කිරීම ගැන උන්වහන්සේ කනගාටුව පළකළහ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ඔවුන්ගේ තරාතිරම නොසලකා ප්‍රහාරවලට සෘජුව හෝ වක්‍රව සම්බන්ධ පුද්ගලයින් විමර්ශනය කිරීම අත්‍යවශ්‍ය බව කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් තවදුරටත් පැවසූහ.

2024 ඔක්තෝබර් මාසයේදී කටුවාපිටිය දේවස්ථානයේදී, සත්‍යය කාලයත් සමඟ මැකීයාමට ඉඩ නොදෙන බවට දුන් පොරොන්දුව ඉටුකරන ලෙස අගරදගුරු හිමිපාණෝ ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ඉල්ලා සිටියහ.

සත්‍යය හෙළිවන තුරු යුක්තිය සඳහා සිය අරගලය අවසන් නොවන බවද කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ අවධාරණය කළහ.