April 14, 2026

14 වැනි ලියෝ පාප්වහන්සේ සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ විවේචනාත්මක ප්‍රකාශ කිසිසේත් අනුමත කළ නොහැකි බව ඉතාලි අගමැතිනි ජෝර්ජියා මෙලෝනි පවස ඇත.

පාප්වහන්සේ යනු කතෝලික සභාවේ උත්තරීතර නායකයා වන අතර සාමය වෙනුවෙන් පෙනීසිටීමත්, ඕනෑම ආකාරයක යුද්ධයක් හෙළාදැකීමත් උන්වහන්සේගේ නිවැරදි සහ සාමාන්‍ය කාර්යභාරය බව අගමැතිනිය පෙන්වා දී ඇත.

දක්ෂිණාංශික සන්ධාන රජයක නායකත්වය දරන, දැඩි කතෝලික භක්තිකයකු වන මෙලෝනි, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මිතුරියක ලෙස සැලකෙයි.

කෙසේවෙතත් ඇමෙරිකාව සහ ඉරානය අතරේ පවතින යුදමය තත්ත්වය හේතුවෙන් එම මිත්‍රත්වය පළුදු වී ඇත.

මෙතෙක් කල් ඇමරිකානු ජනාධිපතිවරයා පාප්වහන්සේ කෙරෙහි එල්ල කළ දැඩි විවේචන හමුවේ නිහඬ පිළිවෙතක් අනුගමනය කළ මෙලෝනි, පළමු වරට මෙලෙස සෘජුවම සිය විරෝධය පළකිරීම විශේෂත්වයකි.

මෙම සිදුවීමත් සමඟ අන්තර්ජාතික දේශපාලනය සහ වතිකානය අතර සබඳතාව නව කතාබහකට ලක්ව තිබේ.