April 12, 2026

මැදපෙරදිග සටන් විරාමය ඉතා අවදානම් තත්ත්වයක පවතින පසුබිමක, පාකිස්තානයේදී ඉරානය සමඟ පැය 21ක් පුරා පැවැත්වූ සාකච්ඡාවලින් කිසිදු ප්‍රගතියක් අත්කර ගැනීමට නොහැකි වූ බව ඇමරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් ප්‍රකාශ කළේය.

ජනමාධ්‍ය හමුවක් අමතමින් වෑන්ස් පැවසුවේ, “අපගේ කොන්දේසි පිළිනොගැනීමට” ඉරානය තීරණය කර ඇති බවයි.

“ජනාධිපති (ඩොනල්ඩ් ට්‍රම්ප්) ප්‍රකාශ කළේ අප අවංක විශ්වාසයකින් යුතුව පැමිණ ගිවිසුමකට එළඹීමට උත්සාහ කළ යුතු බව වුව ද අවාසනාවකට මෙන් කිසිදු ප්‍රගතියක් අත්නොවූ” බව ඔහු පැවසුවේය.

ඉදිරි වසරවලදී ඉරානය න්‍යෂ්ටික අවි ලබාගැනීමට හෝ ඒවා නිපදවීමට උත්සාහ නොකරන බවට ස්ථිර පොරොන්දුවක් ඇමරිකාව අපේක්ෂා කළ බව උප ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

“ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහන සහ පෙර තිබූ බලගැන්වීමේ මධ්‍යස්ථාන විනාශ කර තිබෙනවා. නමුත් තවදුරටත් න්‍යෂ්ටික අවි නිපදවන්නේ නැති බවට වන කැපවීමක් අප ඔවුන්ගෙන් දකින්නේ නැහැ,” යැයි ඔහු පැවසීය.

සාකච්ඡාවල ප්‍රතිඵලය කුමක් වුවත් ඇමරිකාව ජයග්‍රහණය කර ඇති බවට ට්‍රම්ප් කළ ප්‍රකාශයෙන් පැය කිහිපයකට පසුව වෑන්ස්ගේ මෙම ප්‍රකාශය නිකුත් විය.

“අපි එම රට සම්පූර්ණයෙන්ම පරාජය කළා. සමහරවිට ඔවුන් ගිවිසුමකට එළඹේවි, නැතිනම් එසේ නොවන්නත් පුළුවන්. ඇමරිකාවේ ස්ථාවරයෙන් බලන කල මට ඒ ගැන ප්‍රශ්නයක් නැහැ,” යැයි ඔහු පැවසීය.

ඇමරිකාව විසින් ටෙහෙරානය හමුදාමය වශයෙන් පරාජය කර ඇති බව ඔහු තවදුරටත් කියාසිටියේය.