March 29, 2026

මැදපෙරදිග යුද්ධය පැවති අවස්ථාවලදී මතුවන ගෝලීය අර්බුද සඳහා මුහුණ දුන් මෙරට පළමු ආණ්ඩුව වත්මන් ආණ්ඩුව නොවන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පැවසුවේය.

ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ මීට පෙර පැවැති ආණ්ඩු එවැනි අර්බුද සඳහා මුහුණදෙන අවස්ථාවලදී වත්මන් ආණ්ඩුව විපක්ෂයේ සිටිමින් රට තුළ ගැටලු මතුවේ නම් ආණ්ඩුවක් කුමකටදැයි ප්‍රශ්න කළ බවයි.

කුමන හෝ පාර්ශවයක් ප්‍රකාශයක් සිදු කළ යුතු වන්නේ වගකීමකින් බව ද ඔහු පෙන්වා දුන්නේය.

කෙසේවෙතත් වර්තමානයේදී ගැටලුවක් පවතින බව සියලුදෙනා පිළිගන්නා බව පැවසූ මන්ත්‍රීවරයා ඒ සඳහා සියලුදෙනා එක්ව මුහුණදිය යුතු බව ද පැවසුවේය.

එමෙන්ම ඔහු කියා සිටියේ දේශපාලනමය වශයෙන් නොබෙදී එකමුතුව කටයුතු කළ යුතු අවස්ථාවක් එළඹ ඇති බවයි.