March 28, 2026

මැදපෙරදිග අර්බුදය හමුවේ මෙරට ඉන්ධන මිල ඉහළ යාම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ජනමාධ්‍ය හමුවේ අදහස් පළ කළේය.

එහිදී මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ 30% ක පමණ ප්‍රතිශතයකින් මෙරට තෙල් මිල ඉහළ දමා ඇති බවයි.

මැදපෙරදිග අර්බුදයෙන් බලපෑම් එල්ල වී ඇති අනෙක් රටවල් සමග සංසන්ධනය කළ හොත් එලෙස වැඩි කර ඇති ප්‍රතිශතය අධික ප්‍රමාණයක් බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.

එමෙන්ම ඔහු කියා සිටියේ ඉරාන යුද්ධයේ බලපෑම මත තෙල් මිල ද දිනපතා පාහේ උච්ඡාවචනය වෙමින් පවතින බැවින් මිල තවදුරටත් ඉහළ යාමේ හැකියාවක් පවතින බවයි.

එහෙත් ජනතාව ආරක්ෂා කර ගැනීම ද රජයේ වගකීමක් බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

තෙල් මිල වැඩි කිරීමෙන් සියයට 15% ක පමණ කාණ්ඩයක් දැඩි ලෙස අවදානමට ලක්වන බැවින් මේ මොහොතේ වඩා වැදගත් වන්නේ එම කාණ්ඩය නියෝජනය කරන පිරිස ආරක්ෂා කර ගැනීම බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.