March 18, 2026

ඩිජිටල් වත්කම් වෙළඳාම සම්බන්ධයෙන් රජයේ වර්තමාන ප්‍රතිපත්තිය පිළිබඳ එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂයෙන් විමසීමක් කළේය.

එමෙන්ම 2025 මුල් භාගයේ සිට ගුප්තකේතන මුදල් (cryptocurrency) ගනුදෙනු නිරීක්ෂණය කිරීමට ගෙන ඇති පියවර සහ Binance වැනි වේදිකා හරහා මෙරට ප්‍රාග්ධනය පිටරටට ඇදී යාමට නිසි නීතිමය රාමුවක් නොමැතිකම බලපා ඇති ආකාරය පිළිබඳව මන්ත්‍රීවරයා මෙහිදී පැහැදිලි කිරීමක් ඉල්ලා සිටියේය.

ක්‍රිප්ටෝ ලාභ මත බදු පැනවීම, 2023, 2024 සහ 2025 වසරවල ගනුදෙනු ප්‍රමාණයන් හඳුනාගැනීමේ යාන්ත්‍රණයන් සහ වංචා හා මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සඳහා මහ බැංකුව, මූල්‍ය බුද්ධි ඒකකය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අතර පවතින සම්බන්ධීකරණය පිළිබඳව ද ඔහු එහිදී ප්‍රශ්න කළේය.

ඩිජිටල් වත්කම් නියාමනය කිරීමේදී ඉන්දියාව, සිංගප්පූරුව, තායිලන්තය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි ජාත්‍යන්තර රටවල් ලබා ඇති ප්‍රගතිය හා සමගාමීව කටයුතු කිරීමට රජය සැලසුම් කරන්නේ කෙසේදැයි පැහැදිලි කරන ලෙසද මන්ත්‍රීවරයා ආණ්ඩු පක්ෂයෙන් ඉල්ලා සිටියේය.