March 30, 2026

අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචා සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ආගමන විගමන දෙපාර්තමේන්තුවේ රඳවා සිටි චීන ජාතිකයන් 125 දෙනෙකු පිටුවහල් කර තිබේ.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකු සඳහන් කළේ, චීන රජය සමග සිදු කළ සාකච්ඡාවකින් අනතුරුව එරටින් එවන ලද විශේෂ ගුවන් යානයකින් අදාළ පිරිස පිටුවහල් කළ බවය.

පසුගිය 17 වැනිදා අනුරාධපුර ප්‍රදේශයේ ලැගුම්හල් කිහිපයකරැඳී සිටිමින් අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචා සිදු කරමින් සිටි අදාළ චීන ජාතිකයන් ඇතුළු විදෙශිකයන් පිරිස යුද හමුදා බුද්ධි අංශ සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.

එහිදී අනාවරණ වී ඇත්තේ සංචාරක සහ ව්‍යපාරික වීසා මත අදාළ චීන ජාතිකයන් මෙරටට පැමිණීමෙන් අනතුරුව ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් රැඳී සිට ඇති බවයි.

අනතුරුව ඔවුන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වැලිසර රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටි අතර චීන රජය සමග සාකච්ඡා කිරීමෙන් පසුව ඔවුන් පිටුවහල් කිරීමට තීරණය කෙරිණි.

ඒ සඳහා චීන ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරී කණ්ඩායමක් සහ වෛද්‍යවරයකු විශේෂ ගුවන් යානයකින් මෙරටට පැමිණ ඇති බව වාර්තා විය.

ඊයේ රාත්‍රියේ අදාළ චීන ජාතිකයන් පිටුවහල් කර ඇති අතර ඔවුන් සමග මෙරට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ද චීනය බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.