March 27, 2026

මැදපෙරදිග පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් බංග්ලාදේශය මුහුණ දී සිටින බලශක්ති අර්බුදය මධ්‍යයේ, ඉන්දියාව විසින් අතිරේක ඩීසල් ටොන් 5,000ක් සැපයූ බව රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සිකුරාදා රාත්‍රියේ ප්‍රකාශ කළේය.

“ඉන්දියාවේ සිට තවත් අතිරේක ඩීසල් ටොන් 5,000ක් බංග්ලාදේශයට පැමිණ තිබෙනවා. මෑත කාලය තුළ ඉන්දියාවෙන් බංග්ලාදේශයට ලැබුණු මුළු ඩීසල් ප්‍රමාණය මෙයින් ටොන් 15,000ක් දක්වා ඉහළ යනවා,” යැයි බංග්ලාදේශ පෙට්‍රෝලියම් සංස්ථාවේ (BPC) සාමාන්‍යාධිකාරී (වාණිජ) එම්.ඩී. මුර්ෂෙඩ් හුසේන් අසාද් මහතා ANI පුවත් සේවයට පවසා තිබේ.

“මාර්තු 28 වනදා තවත් ඩීසල් ටොන් 6,000ක් බංග්ලාදේශයට එවීම සඳහා පම්ප් කිරීම (pumping) සිදු කරනු ඇත,” ඔහු වැඩිදුරටත් පැවසීය.

“එළඹෙන අප්‍රේල් මාසයේදී ඉන්දියාව විසින් බංග්ලාදේශයට ඩීසල් ටොන් 40,000ක් සැපයීමට යෝජනා කර තිබෙනවා. අපි එම යෝජනාව නිල වශයෙන් පිළිගත්තා,” යැයි වැඩිදුර විස්තර සඳහන් නොකරමින් අසාද් පැවසීය.

මෙම ඩීසල් සපයනු ලබන්නේ ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ නුමාලිගාර් (Numaligarh) පිරිපහදුවේ සිට ‘ඉන්දු-බංග්ලාදේශ මිත්‍රත්ව නල මාර්ගය’ හරහා බංග්ලාදේශයේ පර්බතිපූර් (Parbatipur) ඩිපෝව වෙතය.

2024 වසරේ එවකට අග්‍රාමාත්‍ය ෂීක් හසීනාට එරෙහිව ඇති වූ මහජන නැගිටීමෙන් පසුව මෙම ඉන්දු-බංග්ලාදේශ මිත්‍රත්ව නල මාර්ගයේ කටයුතු ඇණහිට තිබුණි.

පෙබරවාරි මාසයේ පැවැති මහ මැතිවරණයෙන් පසු තාරික් රහ්මාන්ගේ (Tarique Rahman) නායකත්වයෙන් යුත් වර්තමාන රජය බලයට පත්වීමත් සමඟ ඉන්දු-බංග්ලාදේශ මිත්‍රත්ව නල මාර්ගයේ කටයුතු යළි ආරම්භ විය.

මෙම නල මාර්ගය හරහා මේ වන විට ඩීසල් ටොන් 15,000ක් ලබා දී ඇත.