March 25, 2026

අවසරය ලබා නොගැනීම හේතුවෙන් උපායමාර්ගිකව වැදගත් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා පාකිස්තානය බලා ගමන් කරමින් තිබූ වෙළඳ නෞකාවක් ඉරානය විසින් නවතා දමා ඇත.

‘SELEN’ ලෙස හඳුනාගත් මෙම නෞකාව ආහාර ද්‍රව්‍ය රැගෙන කරච්චි බලා ගමන් කරමින් සිටියදී, ජල මාර්ගයේ පිවිසුම අසලදී ආපසු හරවා එවා ඇති බව වාර්තා වේ.

ලෝකයේ කාර්යබහුලම මුහුදු මාර්ගවලින් එකක් වන මෙම සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමේදී අනුගමනය කළ යුතු අනිවාර්ය නීතිමය කරුණු නෞකාව විසින් උල්ලංඝනය කර ඇති බව ඉරාන බලධාරීන් ප්‍රකාශ කර ඇත.

ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය, ඉරානය සමඟ පවතින යුද්ධය උත්සන්න වීමත් සමඟ, ටෙහෙරානය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීම ඵලදායී ලෙස අවහිර කර ඇති අතර, දැනට පවතින නොසන්සුන්කාරී තත්ත්වය මධ්‍යයේ අනුමත නෞකාවලට පමණක් ගමන් කිරීමට අවසර ලබා දී ඇත.

ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ නාවික හමුදාව තහවුරු කළේ, ක්‍රියාපටිපාටිය උල්ලංඝනය කිරීම හේතුවෙන් මෙම නෞකාවට ගමන් බලපත්‍රය ප්‍රතික්ෂේප කළ බවයි.

IRGC නාවික හමුදාපති Alireza Tangsiri X පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ නීතිමය තත්වයන්ට අනුකූල නොවීම සහ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට අවසර නොමැති වීම හේතුවෙන් ‘SELEN’ බහාලුම් නෞකාව IRGC නාවික හමුදාව විසින් ආපසු හරවා එවන ලදී.