March 24, 2026

කොම්පඤ්ඤවීදිය City of Dreams සංචාරක ව්‍යාපාරයේ සේවකයන් පිරිසක් සේවයෙන් ඉවත්කිරීමට එහි කළමණාකාරිත්වය කටයුතු කිරීමත් සමඟ, ඊට විරෝධය දක්වමින් එම සේවකයන් ඇතුළු පිරිසක් කොම්පඤ්ඤවීදිය පාලම අසල අද (24) උදෑසන සිට විරෝධතාවක නිරතවන බව වාර්තා වේ.

ඒ අනුව, අංශ කිහිපයකට අයත් තරුණ සේවකයන් 100 දෙනකුට ආසන්න පිරිසක් මෙලෙස සේවයෙන් ඉවත්කිරීමට හෝටල් පරිපාලනය කටයුතු කර ඇති අතර, සේවකයන් චෝදනා කරනු ලබන්නේ, සේවයේ නිරතව සිටින සේවකයින් 1500 ක පමණ පිරිසෙන් අඩක සේවය අහිමිකර මහමගට ඇදදැමීමට හෝටල් පාලකයින් කටයුතු කරමින් සිටින බවයි.

ඔවුන් චෝදනා කරන්නේ, වෙනත් පිළිගත් සංචාරක හෝටල්වල දීර්ඝ කාලයක් සේවය කර පළපුරුද්ද ලබා සිටි තරුණ සේවකයන්, ආකාෂණීය වැටුප් ගෙවන බව සහ සේවය සුරක්ෂිත කරන බව පවසමින් එම ස්ථානවලින් ඉවත්කරවා මෙම හෝටලයේ සේවය සඳහා බඳවාගැනීමට පරිපාලනය කටයුතු කළ බවයි.

කෙසේ වෙතත්, City of Dreams හෝටලයේ කළමණාකාරිත්වය විසින් ගනු ලැබූ සේවක විරෝධී ක්‍රියාමාර්ගයට එරෙහිව සිදුකෙරෙන මෙම උද්ඝෝෂණට විරුද්ධව මේ වන විට කළමණාකාරිත්වය විසින් පොලිස් බලඇණි කැඳවා ඇති බව වාර්තා වේ.(whatnews.lk)