March 22, 2026

බලංගොඩ පින්නවල ඉන්ධන පිරවුම් හලේ රාත්‍රියේ රාජකාරි කර නිවස බලා යමින් සිටි පින්නවල පොලිසියට අනුයුක්තව සේවය කළ කොස්තාපල්වරයකු කණතිරියන්වෙල ප්‍රදේශයේදී මියගොස් සිටියදී සොයාගත් බව පොලිසිය පවසයි.

කොස්තාපල්වරයා ගමන්කළ යතුරුපැදියද ඇළකට පෙරළී තිබුණු බව පොලිසිය සඳහන් කරයි.

පින්නවල පොලිසියට අනුයුක්තව සේවය කළ ලේකම්ලාගේ සේනක කිර්ති නමැති හතලිස් තුන් හැවිරිදි පොලිස් කොස්තාපල්වරයකු මෙලෙස මියගොස් තිබේ.

මෙම කොස්තාපල්වරයා පින්නවල ඉන්ධන පිරවුම්හලේ රාත්‍රි රාජකාරි සිදුකර බලංගොඩ ගුරැබැවිල, පල්ලෙවෙල පිහිටි ඔහු පදිංචි නිවස වෙත ගමන් කරමින් සිටියදී, පින්නවල මාර්ගයේ කණතිරියන්වෙල ප්‍රදේශයේ දි මෙලෙස මියගොස් ඇත.

නිලධාරියා මෙම ස්ථානයේ වැටි සිටි අයුරු ප්‍රදේශවාසීන් දැක පින්නවල පොලිස් ස්ථානය වෙත දැනුම්දීමක් කර තිබේ.

යතුරුපැදිය පෙරළීම හේතුවෙන් ඔහු මියගොස් තිබේද නැතහොත් වෙනත් හේතුවකින් මියගොස් තිබේද යන්න පිළිබඳව පින්නවල පොලිසිය පරික්ෂණ සිදුකරමින් සිටී. (ලංකාදීප)