March 21, 2026

කැකිරාව සහ හබරණ දුම්රිය ස්ථාන අතර, හොරිවිල ප්‍රදේශයේ දුම්රිය සංඥා කේබල් සඳහා හාරා තිබූ අගලකට වැටුණු මාස දෙකක් වයසැති අලි පැටවකු මිය ගොස් තිබේ.

ප්‍රදේශවාසීන් පැවසුවේ වල් අලි රංචුවක් දුම්රිය මාර්ගය හරහා ගමන් කරමින් සිටියදී රංචුවේ සිටි පැටවකු දුම්රිය සේවකයන් සංඥා කේබල් එලීම සඳහා හාරා තිබූ අගලට වැටී ඇති බවයි.

පටු ගැඹුරු අගලෙන් පැටවා බේරා ගැනීමට අලි රංචුව උත්සාහ කළ නමුත් එය සාර්ථක නොවූ බව ප්‍රදේශවාසීහු පැවසූහ.

රංචුව ගිය පසු, මව අලි පැටවා සමග එහි රැඳී සිටිමින් උදෑසන වන තෙක් පැටවා බේරා ගැනීමට උත්සාහ කර ඇත.

ප්‍රදේශවාසීන් වනජීවී නිලධාරීන්ට දැනුම් දුන්නද ඔවුන් පැමිණීමට පෙර පැටවා මිය ගොස් තිබිණි.

ගම්වාසීන් සහ වනජීවී නිලධාරීන් පැටවා පරීක්ෂා කිරීම සඳහා අලි මව පලවා හැරියද, මව අසල වනාන්තරයෙන් කෑගසමින් සිටි බව වාර්තා වේ.