March 9, 2026

මෙරටට බලපෑ දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත්වූවන්ට සහන සැලසීමේදී තවමත් ගැටලු පවතින බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

එහිදී ඔහු පෙන්වා දුන්නේ ස්වභාවික ආපදාවෙන් විපතට පත්වූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට සහන සැලසීමේදී තවමත් ඔවුන්ට හිමි ඇතැම් වන්දි ගෙවීම් ලැබී නොමැති බවයි.

ආපදාවෙන් හානියට පත්වූ නිවාස හිමි‍යන් සඳහා වන්දි ලබාදෙන බව පැවසුව ද නුවරඑළිය වැනි ප්‍රදේශවල තවමත් කූඩාරම් තුළ පවා ජනතාව රැඳී සිටින බව වාර්තා වන බව ද මන්ත්‍රීවරයා එහිදී අනාවරණ කළේය.

එමෙන්ම කොළඹ ගංවතුරෙන් බලපෑම් එල්ල වූ ඇතැම් පාසල් දරුවන්ට පවා තවමත් ඔවුන්ට හිමිවිය යුතු මූල්‍ය දීමනා නොලැබීම සම්බන්ධයෙන් පළවී තිබූ පුවත්පත් වාර්තා සම්බන්ධයෙන් ද ආණ්ඩු පක්ෂයේ අවධානයට යොමු කළ මන්ත්‍රීවරයා පැවසුවේ එම දීමනා කඩිනමින් ලබාදීමට පියවර ගන්නා ලෙස තමන් ඉල්ලා සිටින බවයි.