March 15, 2026

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සිය මුළු ශක්තිය යොදවා ලුහුබැඳ ගොස් ඝාතනය කරන බවට ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය තර්ජනය කර ඇත.

විදෙස් ජනමාධ්‍ය වාර්තා කරන පරිදි මිසයිල සහ ඩ්‍රෝන යානා භාවිත කරමින් ඇමරිකා එක්සත් ජනපදයට සහ ඊශ්‍රායලයට එරෙහිව ප්‍රතිප්‍රහාර 50කට අධික ප්‍රමාණයක් දියත් කර ඇති බව ද එම බලකාය පවසා තිබේ.

ආක්‍රමණිකයා යටත් වන තෙක් අඛණ්ඩව එල්ල කරන මෙම දරුණු ප්‍රහාර වැඩි බලයකින් සහ වඩාත් පුළුල් ලෙස අඛණ්ඩව සිදුකරන බව ඉරානය වැඩිදුරටත් පවසයි.

එමෙන්ම එල්ල කරන ලද ප්‍රබල මිසයිල ප්‍රහාරයකින් ඊශ්‍රායලයේ විශාලතම වාණිජ නගරය වන ටෙල්අවිව් හි කාර්මික කලාපවලට දැඩි හානි සිදුව ඇති බවද ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය පවසා තිබේ.

ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය සමඟ සම්බන්ධතා පවතින තස්නිම් පුවත් ඒජන්සිය වාර්තා කළේ, ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරිදා අලුයම දකුණු ඉරානයේ ෂිරාස් නගරයට ප්‍රහාර එල්ල කර ඇති බවයි.

එමඟින් නේවාසික ගොඩනැගිලි විනාශ වී ඇති අතර අහිංසක පදිංචිකරුවන් තුවාල ලබා ඇති බවද එහි සඳහන් වේ.