March 15, 2026

රට තුළ ඇති විය හැකි ඉන්ධන අර්බුදයක් වළක්වා ගැනීම සඳහා සේවකයන්ට නිවසේ සිට වැඩ කිරීමේ (Working from Home) ඇති හැකියාව පිළිබඳව අධ්‍යයනය කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක බලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

ඒ, අධ්‍යාපන සහ අනෙකුත් ක්ෂේත්‍රවල අමාත්‍යාංශ ලේකම්වරුන් සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ පැවැත්වූ සාකච්ඡාවකදීය.

මැදපෙරදිග යුද තත්වය හමුවේ ගත යුතු ඉදිරි පියවරයන් පිළිබද මෙම විශේෂ සාකච්ඡාව අද (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පවත්වා ඇත.

මැදපෙරදිග යුද්ධය හමුවේ ගල්අඟුරු, ගෑස්, තෙල් ආදී බලශක්ති සැපයුම් ජාල වෙත එල්ලවී ඇති බාධාවන් සහ එම බාධාවන්ට මුහුණදෙමින් අඛණ්ඩ ඉන්ධන සැපයුමක් වෙනුවෙන් එක් එක් අංශයන්ගෙන් දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග හා යෝජිත විකල්ප පිළිබඳවද මෙහිදී සමාලෝචනය කර තිබේ.

මෙම නව තත්වයන්ට මුහුණ දීමේදී ඩිජිටල් කේත ක්‍රමය, නිවසේ සිට රාජකාරී සිදුකිරීම වැනි විකල්ප ක්‍රමවේදයන් නිසි සැලසුමකින් යුතුව ක්‍රියාත්මක කිරීම තුළින් ජාතික ආර්ථිකයට වන බලපෑම අවම කර ගැනීමට හැකි වන බවත් එමෙන්ම මතුවන නව තත්වයන් පිළිබඳ නිරන්තර ජනතාව දැනුවත් කරන විධිමත් සන්නිවේදනයක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවක් ඇති බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වාදී තිබේ.