March 15, 2026

දඹුල්ල ඉබ්බන්කටුව වැවෙහි අක්කර 18ක ප්‍රදේශයක ක්‍රියාත්මක කිරීමට යෝජිතව තිබූ සූර්‍යය බල (Solar power) ව්‍යාපෘතිය, වැඩිදුර ශක්‍යතා අධ්‍යයනයක් සිදුකරන තෙක් අත්හිටුවා ඇත.

වැව් රක්ෂිතවල වන වගාකිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරමින් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් නලින්ද තිලකරත්න ජනමාධ්‍ය වෙත ප්‍රකාශ කළේ, දැනටමත් ක්‍රියාත්මක කර ඇති මෙවැනි ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳ සමීක්ෂණයක් පැවැත්වීමට මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර ඇති බවයි.

පෞද්ගලික සමාගමක් විසින් භාරගෙන ඇති මෙම ව්‍යාපෘතිය සඳහා රාජ්‍ය ආයතන දහසයක අනුමැතිය ලැබී තිබූ බවද ඔහු පැවසීය.

එම ආයතන විසින් මෙම ව්‍යාපෘතිය සඳහා අනුමැතිය ලබාදුන්නේ කෙසේද යන්නත්, මේ සම්බන්ධයෙන් පවතින මහජන විරෝධයත් සලකා බලා ව්‍යාපෘතියට අවසර ලබාදීම පිළිබඳව තීරණය කරන බවත් ඔහු පෙන්වාදුන්නේය.

මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ, කිරිඉබ්බන්ආර චන්ද්‍රිකා වැව ජලාශයේ දැනට ක්‍රියාත්මක වන මෙවැනිම පාවෙන සූර්‍යය බල ව්‍යාපෘතියක ප්‍රගතිය සලකා බැලීමෙන් අනතුරුව මෙම ව්‍යාපෘතියට නැවත අවසර දීම පිළිබඳව සලකා බලන බවයි.

මේ අතර දඹුල්ල නගරාධිපති වසන්ත රාජමන්ත්‍රී ජනමාධ්‍ය වෙත පවසා ඇත්තේ, මෙම ව්‍යාපෘතිය මගින් වැවට විශාල පරිසර හානියක් සිදුවන බැවින් තමා ඊට දැඩි ලෙස විරෝධය පළකරන බවයි.

දඹුල්ල, කැකිරාව සහ හබරණ යන ප්‍රදේශවල විශාල පිරිසක් සිය අවශ්‍යතා සඳහා ඉබ්බන්කටුව වැව මත යැපෙන බව ද ඔහු පෙන්වාදී ඇත.