March 15, 2026

අද (මාර්තු 15 වන ඉරිදා) පෙ.ව. 6.00 සිට බලපැවැත්වෙන පරිදි වාහන සඳහා ඉන්ධන බෙදාහැරීම සඳහා QR කේත පද්ධතිය ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකාවේ බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඒ අනුව, ලියාපදිංචි QR කේතයක් නොමැතිව ඉන්ධන නිකුත් නොකරන බව අමාත්‍යංශය පවසයි.

QR කේතය නිර්මාණය කරගැනීමය පිවිසෙන්න: https://fuelpass.gov.lk/

නිවේදනයක් නිකුත් කරමින් අමාත්යංශය සඳහන් කරන්නේ, මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන්, ඉන්ධන සැපයුම් මාර්ග අඩාල වෙමින් පවතින අතර, රට තුළ ඉන්ධන ඉල්ලුම වේගයෙන් වැඩිවෙමින් පවතින බැවින්, ආර්ථික කටයුතු පවත්වා ගැනීම සඳහා පවතින ඉන්ධන සංචිත ප්‍රවේශමෙන් කළමනාකරණය කළ යුතු බවයි.

නීතිවිරෝධී ලෙස ඉන්ධන ගබඩා කිරීම සහ ජාවාරම්වල නියැලී සිටින සමහර කණ්ඩායම් ඉල්ලුම වැඩිවීමට ප්‍රධාන හේතුවක් ලෙස හඳුනාගෙන ඇති බව බලශක්ති අමාත්‍යාංශය තවදුරටත් පවසයි.

එබැවින්, මෙම ගබඩා කිරීමේ ක්‍රියාව මැඩපැවැත්වීම සහ සාමාන්‍ය ජනතාවගේ ආර්ථික කටයුතුවලට බාධා නොවන බව සහතික කිරීම රජයේ අභිප්‍රාය බව නිවේදනයේ සඳහන් වේ.

ඒ අනුව, ඉරිදා (මාර්තු 15) උදෑසන 6.00 සිට ඉන්ධන බෙදාහැරීම සඳහා QR කේත ක්‍රමය ක්‍රියාත්මක කරන අතර, QR කේතය නොමැතිව කිසිදු ඉන්ධන පිරවුම්හලකින් ඉන්ධන බෙදාහරිනු නොලැබේ.

ඉන්ධන වෙනුවෙන් QR කේතය ලබාගන්නේ කෙසේද;

1. පෙර QR කේතය ලියාපදිංචි කළ අය:

i. වාහනයේ හිමිකාරිත්වය හෝ දුරකථන අංකය වෙනස් වී නොමැති නම්, (14) මධ්‍යම රාත්‍රියේ සිට https://fuelpass.gov.lk/ වෙබ් අඩවියෙන් ඔබට හිමි කේතය භාගත (Download) කරගත හැකිය.

ii.වාහනයේ හිමිකාරිත්වය හෝ දුරකථන අංකය වෙනස් වී ඇති නම්,(15) දින උදෑසන 6.00 සිට https://fuelpass.gov.lk වෙබ් අඩවියෙන් ඔබ නැවත ලියාපදිංචි විය යුතුය.

02. පෙර QR කේතය ලියාපදිංචි නොකළ සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (RMV ) අලුතින්ම ලියාපදිංචි කරන ලද වාහන:

i. 2026.03.15 දින උදෑසන 6.00 සිට https://fuelpass.gov.lk/ වෙබ් අඩවියෙන් ඔබ ලියාපදිංචි විය යුතුය.

මෙලෙස ලියාපදිංචි වීමෙන් පසුව සතියකට ඉන්ධන ලබා ගත හැකි අතර එම ලීටර ප්‍රමාණය පහතින්,

බස් රථ- ලීටර් 60
මෝටර් සයිකල් – ලීටර් 05
වෑන් රථ – ලීටර් 40
මෝටර් රථ – ලීටර් 15
මෝටර් ලොරි – ලීටර් 200
ඉඩම් වාහන – ලීටර් 25
මෝටර් ත්‍රීරෝද රථ- ලීටර් 15
විශේෂ කාර්ය වාහන- ලීටර් 40
ක්වොඩ්‍රි සයිකල් – ලීටර් 5

එමෙන්ම පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථ සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මගින් ඉන්ධන නිකුත් කරන බවද බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේය.