March 14, 2026

2025 වසර අවසානය වන විට රජයේ අයවැය වියදමෙන් 87%ක් ප්‍රයෝජනයට ගෙන ඇති බවත්, එය මූල්‍ය ප්‍රගතියේ සැළකිව යුතු ඉදිරි පියවරක් පෙන්නුම් කරන බවත් පැෆ්රල් සංවිධානය සහ මාර්තු 12 ව්‍යාපාරය පෙන්වා දුන්නේය.

පැෆ්රල් සංවිධානය සහ මාර්තු 12 ව්‍යාපාරය විසින් වත්මන් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය කිරීම සඳහා සකස් කරන ලද දෙවැනි අර්ධ වාර්ෂික අධීක්ෂණ වාර්තාව එළිදැක්වීම මාර්තු 12 වැනිදා බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති අවස්ථාවේදී මෙය අනාවරණ විය.

2025 දෙසැම්බර් 31 වැනිදා වන විට රජයේ මුළු අයවැය රුපියල් ට්‍රිලියන 8.8ක් ලෙස වාර්තා වී ඇති අතර එයින් රුපියල් ට්‍රිලියන 7.6ක් පමණ වියදම් කර තිබේ.

ඒ අනුව, වසර අවසන් වන විට, මුළු අයවැයෙන් 87%ක පමණ මූල්‍ය ප්‍රගතියක් අත්කරගෙන ඇත.

දෛනික වියදම් සඳහා වෙන් කර ඇති ට්‍රිලියන 5.9න් ට්‍රිලියන 5.52ක් පමණ වියදම් කර ඇති අතර එය සම්මතයට අනුව 88.9%ක ප්‍රගතියක් ලෙස සැළකේ.

ඒ හා සමානව, ප්‍රාග්ධන වියදම් සඳහා වෙන් කර ඇති ට්‍රිලියන 2.9න් ට්‍රිලියන 1.4ක් පමණ වියදම් කර ඇති අතර එය සම්මතයට අනුව 83%ක ප්‍රගතියක් පෙන්නුම් කරයි.

ඒ අනුව, මුළු අයවැයෙන් 13%ක් පමණ, එනම් ට්‍රිලියන 1.2ක් පමණ, වියදම් නොකර තිබී ඇත.

මෙම අවස්ථාවට සහභාගී වූ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පෙන්වා දුන්නේ, පසුගිය දශකය තුළ සිවිල් සමාජය සහ සමාජ ක්‍රියාකාරීන් එක්ව දේශපාලනයේ නව ප්‍රමිතීන් හඳුන්වාදීමට කටයුතු කර ඇති බවයි.

එම උත්සාහයේ පියවරක් ලෙස, ජාතික ජන බලවේගය ප්‍රතිපත්ති දේශපාලනය ඉදිරියට ගෙන යෑම සඳහා විද්‍යාත්මක පදනමක් මත සකස් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කළ බවත් ඒ සමඟ විද්‍යාත්මක පර්යේෂණ සහ විශේෂඥ අදහස් මත පදනම්ව ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කරුණු 1,300කට වඩා සකස් කර ඇති බවත් ඔහු තවදුරටත් පැවසීය.