March 13, 2026

නීතිවිරෝධී ධනය රැස් කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටි කුප්‍රකට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘දෙමටගොඩ රුවන්’ හට ඇප ලබා ගැනීම සඳහා රුපියල් මිලියන 5ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවකු මාර්තු 20 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා නියෝග කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති ආර්. දුමින්ද සිල්වාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ද මහේස්ත්‍රාත්වරයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට අද අවසර ලබා දුන්නේය.

නඩුව අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ ඉල්ලීමක් සළකා බැලීමෙන් පසු මෙම අවසරය ලබා දෙන ලදී.

ඒ අනුව සැකකරු වන මොහොමඩ් මොහිදීන් සප්‍රාස් නවාස් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරන ලදී.

පළමු සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේ ‘දෙමටගොඩ රුවන්’ නමින් හඳුන්වන සැකකරුට ඇප ලබා ගැනීම සඳහා රුපියල් මිලියන 5ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාව මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.