March 12, 2026

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවේ සිටියදී හිටපු රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ සුරේෂ් සාලිට අයහපත් ලෙස සළකන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ කළ ප්‍රකාශ රජයේ ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රතික්ෂේප කරයි.

චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් ජයතිස්ස පැවසුවේ, තමා දන්නා පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවැනි තත්ත්වයන් සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් ලැබී නොමැති බවයි.

වීරවංශ මීට පෙර කියා සිටියේ සාලිට පුවත්පත් එලා නිදා ගැනීමට බල කරන බවත්, මීයන් පවා ඔහු මතින් දුවන බවත්, ප්‍රශ්න කිරීම සඳහා රඳවාගෙන සිටියදී පැවති දුර්වල සනීපාරක්ෂක තත්ත්වයන් නිසා ඔහුට දැඩි අපහසුතාවක් ඇති වූ බවත්ය.

කෙසේවෙතත්, බොහෝ සැකකරුවන් මීට පෙර ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිව්වැනි මහලට ගෙන ගොස් ඇති බවත්, එවැනි තත්ත්වයන් පිළිබඳ කිසිවෙකු පැමිණිලි කර නොමැති බවත් ජයතිස්ස පැවසීය.

එවැනි චෝදනා ඉදිරිපත් කර ඇත්නම්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ පිළිබඳ සොයා බලා අවශ්‍ය නම් පරීක්ෂණයක් පැවැත්විය හැකි බව ඔහු පැවසීය.

සාක්ෂි මත පදනම්ව පියවර ගැනීමට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දීර්ඝ කාලයක් තිස්සේ පරීක්ෂණ සිදුකර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.