March 11, 2026

ඊශ්‍රායල හමුදාව මාර්තු 3 වැනි දින දකුණු ලෙබනනයේ යොහ්මෝර් නගරයේ නිවාස ඉලක්ක කර නීතිවිරෝධී ලෙස සුදු පොස්පරස් උණ්ඩ භාවිත කර ඇති අතර, එය සිවිල් වැසියන්ට දැඩි තර්ජනයක් එල්ල කර ඇති බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය නිකුත් කළ වාර්තාවක සඳහන් කළේය.

”සුදු පොස්පරස්වල ඇති ගිනි ගන්නා සුලු ස්වභාවය නිසා මරණය හෝ ජීවිත කාලය පුරාම පීඩා විඳීමට සිදුවන දරුණු තුවාල ඇති විය හැකියි” යනුවෙන් හියුමන් රයිට්ස් වොච් හි ලෙබනන පර්යේෂක රම්සි කායිස් එම ප්‍රකාශයේ සඳහන් කර ඇත.

යොහ්මෝර් හි නේවාසික ප්‍රදේශයක සුදු පොස්පරස් භාවිත කර ඇති බවත්, එම ප්‍රදේශයේ ලැව්ගිනි සඳහා සිවිල් ආරක්ෂක සේවකයන් ප්‍රතිචාර දක්වන බවත් දැක්වෙන ඡායාරූප අටක් තහවුරු කර ගත් බව එම මානව හිමිකම් කණ්ඩායම පැවසීය.
.
ලෙබනනයේ සුදු පොස්පරස් අඩංගු උණ්ඩ භාවිතය පිළිබඳව තමන් දැනුවත් නැති බවත්, එය තහවුරු කළ නොහැකි බවත් ඊශ්‍රායල හමුදාව රොයිටර් පුවත් සේවයට පවසා ඇත.

හියුමන් රයිට්ස් වොච් ආයතනය සතු වීඩියෝ දර්ශන තමන් පරීක්ෂා කර නොමැති බැවින්, එම චෝදනා සම්බන්ධයෙන් අදහස් දැක්විය නොහැකි බව ද ඔවුහු වැඩිදුරටත් පැවසූහ.

ලෙබනන බලධාරීන් මේ පිළිබඳව මෙතෙක් අදහස් දක්වා නොමැත.

ඊශ්‍රායල හමුදාව මාර්තු 3 වන දින අලුයම නිකුත් කළ නිවේදනයකින් යොහ්මෝර් සහ තවත් ගම්මාන සහ නගර 50ක පදිංචිකරුවන්ට එම ප්‍රදේශවලින් ඉවත්වන ලෙස දන්වා තිබිණි.