March 11, 2026

හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව නඩු පැවරීමට පෙර, නිල වශයෙන් තොරතුරු ලබාගැනීම සදහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මහබැංකුව වෙත ලිපියක් යොමුකර ඇතැයි වාර්තා වේ.

එම ලිපියට ප්‍රතිචාර ලද විගස අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව නැවත මහාධිකරණයේ අධිචෝදනා ගොනු කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සූදානම් වේ.

එම කොමිෂන් සභාව විසින් පසුගිය දෙසැම්බර් මාසයේදී තාක්ෂණීක හේතු කිහිපයක් මත මීට පෙර ගොනුකර තිබුණු අධිචෝදනා ඉල්ලා අස්කරගෙන නැවත ගොනු කිරීමට අපේක්ෂා කර තිබිණි.

කෙසේවෙතත් එම අවස්ථාවේදී කබ්රාල් නිදොස් කොට නිදහස් කළ බවට ව්‍යාජ ප්‍රචාරයක් කිරීමට පිරිසක් සැලසුම් කර තිබුණු නිසා, එයට ප්‍රතිචාර ලෙස දූෂණ විරෝධී පනතේ 67 වගන්තිය යටතේ කොන්දේසි දමා නඩුව ඉල්ලා අස්කර ගැනීමට අල්ලස් කොමිසම තීන්දු කර තිබිණි.

එම කොන්දේසි කඩකළහොත් අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව අනිවාර්යයෙන් යළි නඩු පැවරිය යුතු බව දූෂණ විරෝධී පනතේ පැහැදිලිව සටහන් කර තිබේ.

මේ අතර මතභේදාත්මක ග්‍රීක බැඳුම්කර සිද්ධියට අදාළව තමන් රුපියල් බිලියන 1.84ක මුදලක් ගෙවූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන පුවත් මහබැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රතික්ෂේප කර තිබේ.

රුපියල් 1,843,267,595.65ක මුදලක් තැන්පත් කළ යුතු බවට ඉදිරිපත් වූ කොන්දේසියට තමන් එකඟ නොවූ බවත්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමන් දිගින් දිගටම නිර්දෝෂීභාවය ප්‍රකාශ කරන බවත් ඔහු කියා තිබේ.

අල්ලස් කොමිසම විසින් යෝජනා කරන ලද එම එකඟතාවයට අනුව, ඉහත සඳහන් කළ රුපියල් 1,843,267,595.65 ක මුදල මාස තුනක කාලයක් ඇතුළත මහබැංකුවේ විශේෂ ගිණුමකට ප්‍රේෂණය කළ යුතුව තිබේ.

මෙම මුදල ප්‍රේෂණය කර ඇතිදැයි නිල වශයෙන් විමසා ඇති අතර, එයට ශ්‍රී ලංකා මහබැංකුව ලබාදෙන නිල ප්‍රතිචාරයෙන් පසු අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිෂන් සභාව නැවත අධිචෝදනා ගොනුකිරිමට තින්දු කර තිබේ.

(උපුටාගැනීම – whatnews.lk)