March 11, 2026

ඉරාන කාන්තා පාපන්දු කණ්ඩායමේ සාමාජිකාවන් හත්දෙනෙකු ඕස්ට්‍රේලියාවේ රැඳී සිටින අතර, සංචිතයේ සෙසු පිරිස මේ වන විට ඉරානය බලා පිටත්ව ගොස් ඇත.

ඉරානයට ආපසු ගියහොත් ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳ පවතින බිය මධ්‍යයේ, ක්‍රීඩිකාවන් පස්දෙනෙකුට මානුෂීය වීසා බලපත්‍ර ලබාදුන් බව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් පැවසුවේය.

කෙසේවෙතත් කණ්ඩායමට සමීප ආරංචි මාර්ගයක් උපුටා දක්වමින් CNN පුවත් සේවය වාර්තා කර ඇත්තේ, කණ්ඩායමේ තවත් සාමාජිකාවන් දෙදෙනකු එනම් ක්‍රීඩිකාවක සහ කාර්ය මණ්ඩල සාමාජිකයකු ඕස්ට්‍රේලියාවෙන් දේශපාලන රැකවරණය ඉල්ලා ඇති බවයි.

මේ අතර, කණ්ඩායමේ සෙසු පිරිස මේ වන විට ඕස්ට්‍රේලියාවෙන් පිටව ඉරානය බලා ගමන් කරමින් සිටින බව විශ්වාස කෙරේ.

ඔවුන් ගමන් කරන්නේ කුමන මාර්ගයකද නැතහොත් ඔවුන් ඉරානයට පැමිණෙන්නේ කවදාද යන්න තවමත් පැහැදිලි නැත.

ඉරාන කාන්තා පාපන්දු කණ්ඩායම ඕස්ට්‍රේලියාවට පැමිණියේ ආසියානු කුසලාන කාන්තා පාපන්දු තරඟාවලියට ක්‍රීඩාකිරීම සඳහාය.

පසුගිය සතියේ ජාතික ගීය ගායනා කරන අවස්ථාවේ නිහඬව සිටීම හේතුවෙන් ඉරානයට ගිය පසු ඔවුන්ට දඬුවම් විඳීමට සිදුවනු ඇතැයි බියක් පවතී.