March 10, 2026

වාද්දුව සහ පින්වත්ත දුම්රිය ස්ථාන අතර දුම්රිය පාලමක් මත සිටියදී ඊයේ (09) සවස දුම්රියක ගැටීමෙන් වයස අවුරුදු 82 ක බ්‍රිතාන්‍ය සංචාරකයෙකු මියගොස් තිබේ.

පින්වත්ත පොලිසියට අනුව, මියගිය පුද්ගලයා විදේශීය සංචාරකයන් දෙදෙනකු සහ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු ඇතුළු කණ්ඩායමක සාමාජිකයෙකි. ඔවුන් අතර කුඩා දරුවෙකු ද සිට ඇත.

මෙම කණ්ඩායම අසල වෙරළට ගොස් පසුව අවට නැරඹීම සඳහා දුම්රිය පාලමට නැග ඇති අතර, ඔවුන් සිතා ඇත්තේ පාලම භාවිතයේ නොමැති බවයි.

කෙසේවෙතත්, ඔවුන් පාලම මත සිටියදී, බෙලිඅත්ත සිට කොළඹ බලා ධාවනය වූ අධිවේගී දුම්රියක්(සාගරිකා) මාර්ගය ඔස්සේ ළඟාවී ඇත.

එහිදී කණ්ඩායම දුම්රිය මාර්ගයෙන් ඉවතට යෑමට උත්සාහ කළ බව වාර්තා වේ.

එහිදී පැමිණි දුම්රිය බ්‍රිතාන්‍ය සංචාරකයාගේ ගැටී ඇති අතර, ඔහු පින්වත්ත ඇළට වැටී ඇත.

ඔහු එම ස්ථානයේදීම මියගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය.

අනෙක් අය පාලමෙන් ඇළට පැන දිවි බේරාගැනීමට සමත්ව තිබේ.

විදේශීය කාන්තාවක්, කුඩා දරුවකු සහ ශ්‍රී ලාංකික පිරිමියෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වේ.