March 9, 2026

මැදපෙරදිග ගැටුම හේතුවෙන් ගෝලීය බොරතෙල් මිල තියුණු ලෙස ඉහළ යෑමත් සමග මිල ඉහළ යෑම පාලනය කිරීම සඳහා වසර 30කට ආසන්න කාලයකට පසු පළමු වරට දේශීය ඉන්ධන මිල පාලනය කරන බව දකුණු කොරියානු ජනාධිපති ලී ජේ මියුන්ග් අද (9) පැවසීය.

මැදපෙරදිග අර්බුදයේ බලපෑම පිළිබඳ හදිසි රැස්වීමකදී අදහස් දක්වමින් ලී පැවසුවේ, මෑතකදී අධික මිල ඉහළ යෑමක් දක්නට ලැබුණු ඛනිජ තෙල් නිෂ්පාදන සඳහා රජය උපරිම මිල ක්‍රමයක් කඩිනමින් හඳුන්වා දී එය නිර්භීතව ක්‍රියාත්මක කරන බවයි.

වත්මන් අර්බුදය සියආර්ථිකයට සැළකිව යුතු බරක් වන අතර, ගෝලීය වෙළඳාම සහ මැදපෙරදිගින් බලශක්ති ආනයනය මත ආර්ථිකය බෙහෙවින් රඳා පවතින බව ලී ආරම්භක අදහස් දැක්වීමේදී පැවසීය.

දකුණු කොරියාව හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා නැව්ගත කරන සැපයුම්වලට අමතරව වෙනත් බලශක්ති ප්‍රභවයන් සොයන බව ඔහු පැවසීය.

ජනාධිපති ප්‍රතිපත්ති උපදේශක කිම් යොං-බියොම් රැස්වීමෙන් පසු පැවසුවේ, මිල සීමා කිරීමේ ක්‍රමය මෙම සතියේ කඩිනමින් ක්‍රියාත්මක කළ හැකි වන පරිදි කර්මාන්ත අමාත්‍යාංශය කටයුතු කරන බවයි.

දකුණු කොරියාවේ පරිභෝජනය සඳහා දින 208ක් සපුරාලීමට ප්‍රමාණවත් තෙල් සංචිත ඇති බව සඳහන් කරමින් උපරිම මිල සෑම සති දෙකකට වරක් වෙනස් කළ හැකි බව ඔහු පැවසීය.

හෝමූස් සමුද්‍ර සන්ධියේ අවහිරයෙන් බලපෑමට ලක් වීමට පෙර දකුණු කොරියාවට නැව්ගත කරන ලද බොරතෙල් ප්‍රමාණය දිනකට බැරල් මිලියන 1.7ක් පමණ වන බව කිම් පැවසීය.

මිලදී ගැනීමේ අයිතිය ක්‍රියාත්මක කළහොත් දකුණු කොරියාවට තෙල් නිපදවන රටවල් සමඟ ඒකාබද්ධව ගබඩා කර ඇති බොරතෙල් බැරල් මිලියන 20ක් ලබා ගත හැකි බව කිම් පැවසීය.

එසේම රාජ්‍ය කොරියානු ජාතික තෙල් සංස්ථාව විසින් විදේශීය නිෂ්පාදනය දේශීය භාවිතය සඳහා හරවා යැවිය හැකිය.

මෙම වසරේ ආනයනය කිරීමට නියමිත ස්වාභාවික ගෑස්වලින් 14%ක් මැද පෙරදිගින් ලැබීමට නියමිත අතර කටාර් මගින් කෙරෙන ගෑස් ආනයනය ටොන් මිලියන 5ක් පමණ කඩාකප්පල් වනු ඇතැයි අපේක්ෂා කරන බව කිම් පැවසීය.

කෙසේවෙතත්, කොරියානු ගෑස් සංස්ථාව සහ අනෙකුත් ආයතන විකල්ප ප්‍රභවයන්ගෙන් ආනයනය කළ හැකි බැවින් දේශීය සැපයුම්වලට බලපෑම් ඇති විය නොහැකි බව ඔහු පැවසීය.

මැදපෙරදිග අර්බුදය දිග්ගැස්සුනු අවස්ථාවක අතිරේක අයවැයක් සකස් කළ හැකිදැයි විමසූ විට, කිම් පැවසුවේ “අමතර මූල්‍ය සම්පත් අවශ්‍ය නම්… අපි ඒ ගැන බැරෑරුම් ලෙස සිතා බැලිය යුතුයි.” යනුවෙනි.

ජනාධිපති ලී පැවසුවේ අවශ්‍ය නම් වොන් ට්‍රිලියන 100 (ඩොලර් බිලියන 66.94)ක වෙළඳපල ස්ථායීකරණ වැඩසටහනක් පුළුල් කළ යුතු බවත්, මූල්‍ය හා විදේශ විනිමය වෙළෙඳපොළවල අස්ථාවරත්වයට ප්‍රතිචාර දැක්වීම සඳහා අමතර පියවර සකස් කරන ලෙස රජයෙන් සහ මහ බැංකුවෙන් ඉල්ලා සිටි බවත්ය.