March 8, 2026

ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යෑමත් සමඟ, බලශක්ති ආරක්ෂාව වෙනුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) හදිසි සැලසුම් සකස් කර තිබේ.

ඒ අනුව ඉන්දියාවෙන් සැපයුම් වැඩිවශයෙන් මිලදී ගැනීම සැලසුම් අතරට ඇතුළත් බව සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කර තිබේ.

ඉන්ධන හිඟයක් ඇතිවීමේ ක්ෂණික තර්ජනයක් නොමැති නමුත් යුද්ධය අඛණ්ඩව පැවතී ගල්ෆ් කලාපය අස්ථාවර වුවහොත්, මිල ඉහළ යා හැකි බව ඔහු පෙන්වා දී ඇත.

“මේ මොහොතේ අපට අගෝස්තු දක්වා වන පරිදි බොරතෙල් ඇතුළු ප්‍රමාණවත් ඉන්ධන තොග තිබෙනවා. ඊට අමතරව, අපි ඉන්දියාවෙන් තවත් මිලදී ගන්න සැලසුම් සකස් කර තිබෙනවා. අඛණ්ඩ සැපයුමක් සහතික කිරීම සඳහා සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. සමීපත්වය හේතුවෙන් නැව්ගත කිරීමේ පිරිවැය අඩු නිසා බොහෝ තෙල් ආනයන දැනටමත් ඉන්දියානු සමාගම් හරහා තමයි පැමිණෙන්නේ,” ඛනිජ තෙල් නීතිගත සංස්ථා සභාපතිවරයා පැවසීය.

සිංගප්පූරු විකල්පය ද විවෘතව පවතින බව ඔහු තවදුරටත් පැවසීය.

මේ අතර, එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය බටහිර ආසියාවේ ඉරානයට එරෙහිව යුද්ධයක් අවුලුවා, එහි අධ්‍යාත්මික නායකයා ඝාතනය කිරීමත් සමග අසල්වැසි ගල්ෆ් රාජ්‍යයන්ගේ බලශක්ති යටිතල පහසුකම්වලට ටෙහෙරානය බෝම්බ හෙලීමත් සමඟම, ශ්‍රී ලංකාවට පිරිපහදු කළ තෙල් ආනයන සඳහා වැයවන පිරිවැය ඉහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකාවේ දිළිඳු පවුල් ඉවුම් පිහුම් සඳහා බහුලව භාවිත කරන ඉන්ධන වර්ගය වන භූමිතෙල් දැන් මිල අධික වී ඇත.

මාර්තු 5 වැනිදා දක්වා දින තුන තුළ ආනයන මිල 48%කට වඩා වැඩි වී තිබේ.

භූමිතෙල් බැරලයක් මාර්තු 3 වැනිදා පැවති ඇමරිකානු ඩොලර් 131.02 සිට ඇමරිකානු ඩොලර් 194.60 දක්වා ඉහළ ගොස් ඇති අතර එය 48%කට වඩා වැඩි වීමකි.

සිංගප්පූරු ප්ලැට්ස් මිල ගණන් මත පදනම්ව, මෙය මෙතෙක් සිදු වූ විශාලතම මිල ඉහළ යෑමයි.

පෙබරවාරි 27 වැනිදා භූමිතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 93.45ක් විය.

ඉන්ධන පිරවුම්හල්වල භූමිතෙල් ලීටරයකට රු. 182කට සිල්ලර විකුණනු ලැබේ.

මාර්තු 1 වැනිදා මිල සංශෝධනය කර නොමැත.

සිංගප්පූරු ප්ලැට්ස් මිල ගණන් මත පදනම්ව, පෙට්‍රල් බැරලයක මිල දැන් ඇමරිකානු ඩොලර් 106.10ක් වන අතර එය මාර්තු 3 වැනිදා ඇමරිකානු ඩොලර් 95.50ක් විය.

මාර්තු 5 වැනිදා දක්වා 11%කට වඩා වැඩි වීමක් පෙන්නුම කර ඇත.

ඩීසල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 140.98ක් වන අතර එය ඇමරිකානු ඩොලර් 117.51 ​​සිට ඉහළ ගොස් ඇති බව ප්‍රකාශිත දත්ත පෙන්වා දෙයි.

මෙය 19.9%කට වඩා වැඩි වීමකි.

ශ්‍රී ලංකාවේ තෙල් ආනයනය බොහෝ දුරට සිංගප්පූරුවෙන් සහ ඉන්දියාවෙන් සිදු වේ.

කටාර් බලශක්ති අමාත්‍ය සාද් අල්-කාබි අනාවැකි පළ කර ඇත්තේ ඉරානය හෝර්මුස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම සැළකිල්ලට ගනිමින්, බොරතෙල් බැරලයකට ඇමරිකානු ඩොලර් 150 දක්වා ළඟා විය හැකි බවයි.

ගෝලීය මිණුම් ලකුණ වන බ්‍රෙන්ට් බොරතෙල් බැරලයකට ඇමරිකානු ඩොලර් 7.28කින් ඉහළ ගොස් ඇමරිකානු ඩොලර් 92.69ක් වී ඇති බව සිකුරාදා වන විට වෙළඳපල වාර්තා පෙන්වා දෙයි.