March 5, 2026

බාල ගල් අඟුරු හේතුවෙන් විදුලි කප්පාදුවක අවදානමක් පවතින බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ වාර්තාවෙන් තහවුරු වී තිබේ.

‘2026 පෙබරවාරි මාසයේදී පුරෝකථනය කරන ලද උපරිම ඉල්ලුම මත පදනම්ව අඛණ්ඩ විදුලි සැපයුම අඩාල කිරීමේ අවදානම විශ්ලේෂණය කිරීම’ යනුවෙන් විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවේ රාත්‍රී උපරිම ඉල්ලුම සපුරාලීම සඳහා ජල විදුලි බලාගාර මෙගා වොට් 1300 දක්වා දායක විය හැකි බවත්, ලක්විජය බලාගාරයෙන් සැපයුම සඳහා මෙගා වොට් 690 දක්වා පමණක් දායක විය හැකි බවත් උපකල්පනය කර ඇත යනුවෙන් මහජන උපයෝගිතා කොමිෂන් සභා වාර්තාවේ සඳහන් විය.

එසේම විදුලිබල මණ්ඩලය විසින් සපයන ලද කාලසටහනට අනුව සැලසුම් කළ නඩත්තුව විශ්ලේෂණය සඳහා සළකා බලන ලද බවද එහි දැක්වේ.

“ලක්විජය බලාගාරයේ 1 වැනි ඒකකය ජුනි මාසයේදී දින 25ක කාලයක් සඳහා නඩත්තු කිරීමට නියමිතය ලක්විජය බලාගාරයේ 2 වැනි ඒකකය ජූලි මාසයේදී දින 25ක කාලයක් සඳහා නඩත්තු කිරීමට නියමිතය.

වෙස්ට්කෝස්ට් බලාගාරය (මෙගා වොට් 270) අප්‍රේල් මාසයේදී දින 10ක කාලයක් සඳහා නඩත්තු කිරීමට නියමිතය.

කැලණිතිස්ස චක්‍රීය 2 බලාගාරය (මෙගා වොට්150) මැයි, ජුනි සහ ජූලි මාසවලදී නඩත්තු කිරීමට නියමිතව තිබේ.

ඉල්ලුම පිළිවෙලින් මෙගා වොට් 3030, මෙගා වොට් 3070 සහ මෙගා වොට් 3000 දක්වා ළඟා වුවහොත් (2026 දී වාර්තාගත උපරිම රාත්‍රී උපරිම ඉල්ලුම මෙගා වොට් 2949 – 2026 පෙබරවාරි 25) සාමාන්‍ය තත්ත්වයන් යටතේ, අප්‍රේල්, ජුනි සහ ජූලි මාසවල ධාරිතා හිඟයක් ඇතිවීමේ අවදානමක් ඇත.

තවද, පවතින ගල් අඟුරු බලාගාරයක් හෝ එක් ප්‍රධාන බලාගාරයක් ලබා ගත නොහැකි වුවහොත්, විශේෂයෙන් අප්‍රේල්, ජුනි සහ ජූලි මාසවලදී රාත්‍රී උපරිම ඉල්ලුම සපුරාලීම සඳහා උත්පාදන ධාරිතා හිඟයක් ඇතිවීමේ ඉහළ අවදානමක් පවතී.

තවද, ස්ථාවර සහ ආරක්ෂිත මෙහෙයුම් මට්ටමක් පවත්වා ගැනීම සඳහා ලක් විජය බලාගාරයේ උත්පාදන ධාරිතාව තවදුරටත් අඩු කළ යුතු නම්, උත්පාදන ධාරිතා හිඟයේ අවදානම තවදුරටත් වැඩි වේ.

නිරීක්ෂණය කළ පරිදි, ඉහළ අළු අන්තර්ගතය සහ වාෂ්ප උෂ්ණත්ව සීමාවන් ඉක්මවා යෑම නිසා බොයිලර් පද්ධතියේ උපකරණ අධික ලෙස ඛාදනය වීමට සහ අධික උණුසුම් වීමට හේතු විය හැක.” යනුවෙන් වාර්තාව සඳහන් කර තිබේ.