March 5, 2026

ශ්‍රී ලංකාවේ දකුණු වෙරළට ඔබ්බෙන් වූ දකුණු මුහුදේදී ඉරාන යුද නෞකාවකට ඇමෙරිකානු ප්‍රහාරයක් එල්ලවීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීමේදී කලාපීය නායකයන් පරිණත ලෙස කටයුතු කරනු ඇති බව තමන්ට විශ්වාස යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

ඉන්දියා ටුඩේ වෙත අදහස් දක්වමින් රාජපක්ෂ පැවසුවේ, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී සේම ශ්‍රී ලංකා නායක අනුර කුමාර දිසානායක ද පරිණත නායකයන් බවයි.

දේශපාලනමය සහ මතිමතාන්තාරාමය වශයෙන් තමන් සහ ජනාධිපතිවරයා අතර වෙනස්කම් පැවතිය ද ඔහු පරිණත නායකයකු බව කිවයුතු යැයි නාමල් රාජපක්ෂ සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ ශ්‍රී ලංකාවේ දකුණු වෙරළට ඔබ්බෙන් වූ ඉරාන යුද නෞකාව සම්බන්ධ සිද්ධියට හේතු වූ මෙහෙයුම පිළිබඳ ශ්‍රී ලංකා රජය දැන සිටියේද යන්න ද පැහැදිලි කළ යුතු බවයි.

විපතට පත් වූවන් සඳහා ගලවා ගැනීමේ මෙහෙයුමක් සිදු කිරීමෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව අන්තර්ජාතික නීතියට අනුකූලව ක්‍රියා කර ඇති බවත් මෙහෙයුම පිළිබඳව පූර්ව දැනුමක් තිබුණේද යන්න සම්බන්ධයෙන් පිළිතුරු දීම දැන් ශ්‍රී ලංකා රජයට ප්‍රශ්නයක් බවත් ඔහු පැවසීය.

අදාළ මෙහෙයුම පිළිබඳ රජය අඳුරේ තබා තිබුණේ නම්, එක්සත් ජනපදයේ බලධාරීන් සමඟ ඒ පිළිබඳ සාකච්ඡා කළ යුතු බව ද රාජපක්ෂ පැවසීය.