February 24, 2026

ඉන්දියාවේ ජාර්කන්ඩ් ප්‍රාන්තයේදී රෙඩ්බර්ඩ් එයාර්වේස් (Redbird Airways) සමාගමට අයත් ගුවන් ගිලන් යානයක් (Beechcraft C90) අනතුරට පත්වීමෙන් රෝගියකු සහ කාර්ය මණ්ඩලය ඇතුළු පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙම යානය රාංචි සිට නව දිල්ලිය බලා ගමන්කරමින් තිබියදී චත්‍රා දිස්ත්‍රික්කයේ වනාන්තරයකට කඩාවැටී ඇති අතර, ඒ අවස්ථාවේ පවතින අයහපත් කාලගුණය අනතුරට හේතු වන්නට ඇතැයි සැකකෙරේ.

“ගුවන් ගිලන් රථයේ සිටි හත්දෙනාම අනතුරින් මියගියා. ගුවන්යානය රාන්චි සිට දිල්ලිය බලා යමින් තිබුණේ,” චත්‍ර නියෝජ්‍ය කොමසාරිස් කීර්තිශ්‍රී ජී පීටීඅයි පුවත් සේවයට පවසා ඇත.

රෙඩ්බර්ඩ් එයාර්වේස් පෞද්ගලික සමාගම විසින් මෙහෙයවන ලද මෙම ගුවන්යානය රාන්චි ගුවන් තොටුපළෙන් ඊයේ රාත්‍රී 7:11 ට පමණ ගුවන් ගත වී තිබිණි.

චත්‍රා නියෝජ්‍ය කොමසාරිස් කීර්තිශ්‍රී ජී පවසන පරිදි ගුවන් යානය රාත්‍රී 7:30 ට පමණ අතුරුදහන් වූ අතර පසුව ඝන වනාන්තර කලාපයක් වන සිමාරියා හි බරියාටු පංචායට එය කඩා වැටී ඇතැයි අනාවරණ වී තිබේ.

ලාතෙහර් දිස්ත්‍රික්කයේ වාසය කරන 41 හැවිරිදි සන්ජය කුමාර් නමැත්තා අදාළ ගුවන් ගිලන් රථයෙන් රැගෙන යමින් තිබිණි.

අසනීප තත්වයක් හේතුවෙන් ඔහු ඉකුත් 16 වැනිදා රෝහල්ගත කර ඇති අතර රෝගියාගේ පවුලේ සාමාජිකයින් පවසන්නේ, ඔහුගේ තත්ත්වය ඉතා බරපතළ බැවින් මාර්ගයෙන් ගෙනයෑම අනාරක්ෂිත වූ නිසා ගුවන් ගිලන් රථය තෝරාගත් බවයි.

“අපි ඔහුව මාර්ගයෙන් ගෙනයාමට උත්සාහ කළා. නමුත් වෛද්‍යවරයා කිව්වා එහෙම කරන්න බැහැ කියලා. ,” පවුලේ සාමාජිකයෙකු ජනමාධ්‍ය වෙත පැවසීය.

“වෛද්‍යවරයා කිව්වා අපට ගුවන් ගිලන් රථයක් සකස් කරගන්න පුළුවන් නම් එය හොඳයි කියලා. එනිසා අපි ගුවන් ගමන් මාර්ගයෙන් ගෙනයාමට තීරණය කළා,” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

“පසුව අපි ප්‍රවෘත්තිවලින් දැනගත්තේ ගුවන්යානය කඩා වැටී ඇති බව,” යැයිද ඔහු සඳහන් කළේය.

අනතුර සිදුවූ අවස්ථාවේ ප්‍රදේශයේ දැඩි අයහපත් කාලගුණ තත්ත්වයන් වාර්තා වී තිබිණි