February 20, 2026

සම්බුද්ධ ශාසනයට, මහා සංඝරත්නයට සහ බෞද්ධ සංස්කෘතියට එල්ල වන විවිධ තර්ජන පරාජය කිරීමේ අරමුණින් සංවිධානය කරන මහා සඟ සමුළුව කොළඹ 7 පිහිටි, බෞද්ධ මහා සම්මේලන පරිශ්‍රයේදී අද (20) පස්වරු 2.00 සිට පැවැත්වේ.

මව්බිම සුරැකීමේ සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසුවේ ජාතිය, ආගම සහ සංස්කෘතිය වෙනුවෙන් පෙනීසිටින මෙම සමුළුව කිසිදු දේශපාලන අරමුණක් වෙනුවෙන් පවත්වන්නක් නොවන බවයි.

පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ඕනෑම දේශපාලනඥයෙකුට හෝ සිවිල් පුරවැසියෙකුට මේ සඳහා සහභාගි විය හැකි බවත් භික්‍ෂු භික්‍ෂුනී, උපාසක සහ උපාසිකා යන සිවුවනක් පිරිසට මෙම සමුළුවට සහභාගි විය හැකි බව ද උන්වහන්සේ සඳහන් කළහ.

මෙම මහා සංඝ සම්මේලනයට සහභාගි වන ලෙස ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් ඇතුළු නිකායන් තුනේම උත්තරීතර සංඝ සභාවන් වෙත නිල වශයෙන් ආරාධනා කළ බව තිනියාවල පාලිත හිමියෝ සඳහන් කරති.

සමාජ මාධ්‍ය හරහා සහ ඇතැම් පිරිස් විසින් බෞද්ධ භික්ෂුවට එරෙහිව ගෙනයන සංවිධානාත්මක ප්‍රහාර හමුවේ සඟ සමුළුවක අවශ්‍යතාව මතුව ඇති බව පෙන්වාදෙන උන්වහන්සේ, දසරාජ ධර්මයට අනුව රට පාලනය කරන ඕනෑම නායකයෙකුට මහා සංඝරත්නයේ ආශිර්වාදය හිමිවන බව ද ප්‍රකාශ කරති.

බෞද්ධ මහා සම්මේලනය, කොළඹ තරුණ බෞද්ධ සංගමය සහ මව්බිම සුරැකීමේ සංවිධානය ඇතුළු සංවිධාන රැසක් මෙම සඝ සමුළුවට සහයෝගය දක්වයි.(ලංකාදීප)