February 19, 2026

එක්සත් ජනපද පැසිෆික් බලඇණියේ අණදෙන නිලධාරී අද්මිරාල් ස්ටීව් ‘වෙබ්’ කොයිලර් හෙට(19) සිට 21 දක්වා මෙරට සංචාරයක නිරත වීමට නියමිතය.

ඔහුගේ සංචාරය අතරතුර, අද්මිරාල් කොයිලර් රජයේ නිලධාරීන් සහ හමුදා සගයන් හමුවීමට නියමිතව තිබේ.

සමුද්‍රීය ආරක්ෂාව පිළිබඳ සහයෝගීතාව ඉදිරියට ගෙන යෑම, කලාපීය ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීම සහ දෙරට අතර සහයෝගීතාව සහ අන්තර් ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීම පිළිබඳව ඔහු එහිදී සාකච්ඡා කරනු ඇත.

ලොව විශාලතම නාවික බලඇණිය වන එක්සත් ජනපද පැසිෆික් බලඇණිය ලොවෙන් අඩක් පුරා ක්‍රියාත්මක වන අතර, ප්‍රධාන මුහුදු මාර්ග ආරක්ෂා කරමින් සහ ඉන්දු-පැසිෆික් කලාපය පුරා හවුල්කාරිත්වයන් ශක්තිමත් කරයි.

අද්මිරාල් කොයිලර්ගේ දෙවැනි ශ්‍රී ලංකා සංචාරය වන මෙය, එක්සත් ජනපදය ප්‍රධාන සමුද්‍රීය මාර්ගවල සන්ධිස්ථානයක ශ්‍රී ලංකාව පිහිටා ඇති බවට දක්වන උපායමාර්ගික වැදගත්කම මෙන්ම නිදහස්, විවෘත සහ සමෘද්ධිමත් ඉන්දු-පැසිෆික් කලාපයක් සඳහා එහි දිගුකාලීන කැපවීම අවධාරණය කරයි.