February 18, 2026

හමුදා නිලධාරීන් හදිසි සේවා සඳහා දුම්රිය එන්ජින් රියදුරන් ලෙස දේශීයව පුහුණු කිරීමේ සැලසුම දුම්රිය වෘත්තීය සමිති විසින් වළක්වන්නේ නම්, එම නිලධාරීන් විදේශ පුහුණුව සඳහා යොමුකරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසයි.

දුම්රිය සේවා අඛණ්ඩව පවත්වා ගැනීම සහතික කිරීම සඳහා හදිසි අවස්ථාවලදී පමණක් යොදා ගැනීමමේ අරමුණින් හමුදා සෙබළුන් 20 දෙනෙකු පුහුණු කිරීමට යෝජනා කා තිබෙන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

“මෙහිදී පුහුණුව පැවැත්වීමට ඔවුන් ඉඩ ඉඩ දෙන්නේ නැත්නම්, අපි ඔවුන් විදේශයන් වෙත යවා අවශ්‍ය පුහුණුව ලබා දෙනවා,” ඔහු වෘත්තීය සමිති විරෝධයට ප්‍රතිචාර දක්වමින් පැවසීය.

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග දැනට පැවැත්වෙන අතරතුර සේවාවන් කඩාකප්පල් කිරීම අසාධාරණ බව පෙන්වා දෙමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැනීමට සුදානම් වූ කාලය ද ඔහු විවේචනය කළේය.

මේ අතර, දුම්රිය එන්ජින් මෙහෙයුම් සඳහා හමුදා නිලධාරීන් පුහුණු කිරීමේ තීරණයට විරෝධය පළ කරමින් ලොකොමෝටිව් මෙහෙයුම් ඉංජිනේරු සංගමය ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් දියත් කරන බව නිවේදනය කර තිබුණ ද පසුව එය අවලංගු කරනු ලැබීය.

ඊට හේතුව හමුදා නිලධාරීන් පුහුණු කිරීමේ වැඩසටහන තාවකාලිකව අත්හිටුවීම බව එම සංගමය කියයි.