February 14, 2026

මිනීමැරුම් චෝදනා මත මරණ දඬුවම නියම කර සිටි හිටපු අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර නිදොස්කොට නිදහස් කළ අභියාචනාධිකරණ තීන්දුව අවලංගු කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති අභියාචනය විභාග කිරීම සැප්තැම්බර් 4 වැනි දින දක්වා කල්දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

ඝාතනයෙන් අගතියට පත් පාර්ශ්ව විසින් මෙම අභියාචනය ඉදිරිපත් කර තිබිණි.

අභියාචනාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස්ගේ ප්‍රධානත්වයෙන් යුතු ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ එම අභියාචනය කැඳවන ලදී.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ නීතිඥවරයා අසනීප තත්ත්වයෙන් පසුවන බවට ඉදිරිපත් කළ කරුණු පිළිගැනීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණය සැප්තැම්බර් 4 වන දිනට නඩු විභාගය කල්තැබීය.

2015 ජනාධිපතිවරණ සමයේදී එවක ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනගේ දේශපාලන රැලියකට සිදුකළ වෙඩි තැබීමකදී සිදු වූ මිනීමැරුමක් සම්බන්ධයෙන් ප්‍රේමලාල් ජයසේකරට රත්නපුර මහාධිකරණය විසින් මීට පෙර මරණ දඬුවම නියම කරන ලදී.

මරණ දඬුවමට එරෙහිව ප්‍රේමලාල් ජයසේකර ගොනුකළ අභියාචනයක් අනුව, අභියාචනාධිකරණය ඔහු නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කළේය.

එම අභියාචනාධිකරණ තීන්දුව නීතියට පටහැනි බැවින් එය අවලංගු කරන ලෙසත්, දඬුවම ක්‍රියාත්මක කරන ලෙසත් ඉල්ලා, අගතියට පත් පාර්ශ්ව ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම පෙත්සම ගොනුකර ඇත.