February 13, 2026

වෛද්‍ය ක්‍රියාපටිපාටි හරහා පුද්ගලයන්ට තම ස්ත්‍රී පුරුෂ අනන්‍යතාව වෙනස් කිරීමට අවසර දෙන රජයේ වැඩසටහන් සහ චක්‍රලේඛ අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හිටපු සහ වත්මන් රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකුට නොතීසි නිකුත් කිරීමට නියෝග කර තිබේ.

පෙත්සම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ, වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙනුවෙන් නීතිපතිවරයාට සහ තවත් පාර්ශව කිහිපයකට නොතීසි නිකුත් කර ඇත.

විශ්‍රාමික ගුවන් හමුදා ප්‍රවීණයකු වන ශාන්ත ජයතිලක විසින් ගොනු කරන ලද මෙම පෙත්සම මගින් වෛද්‍ය ක්‍රියාපටිපාටි හරහා පුද්ගලයන්ට තම ස්ත්‍රී පුරුෂ අනන්‍යතාව වෙනස් කිරීමට ඉඩ සලසන රජයේ වැඩසටහන් සහ චක්‍රලේඛ අභියෝගයට ලක් කරමින් ඒවා නීති විරෝධී බව සඳහන් කර තිබේ.

මෙම නඩුව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න සහ අචල වෙන්ගප්පුලි යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාග කරන ලද අතර ජූලි 20 වැනිදා නැවත විභාගයට ගැනීමට නියමිතය.

එසේම සතියක් ඇතුළත විරෝධතා ගොනු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය වගඋත්තරකරුවන්ට නියෝග කර ඇත.